මගේ හිතේ දුවෙක් උපන්නෙ මට අවුරුදු දහ තුනේදි දාහතරෙදි විතර.
එදා ඉදන් ලදැරියක ලෙසත්, කුඩා ගැහැණු ළමයෙකු ලෙසත් පමණක් නොව විටෙක නව යෞවනියක ලෙසත් වරින් වර විවිධාකාර වේෂයන්ගෙන් මා තුළම ජීවත්වන්නී......සද වැනි මුහුණක් ඇතැයි සිතා මා ඇය නම් කළා ' චන්ද්‍රවතී ' කියා.
මා ඇය නළවනවා....''ගුවන් තොටිල්ලේ සද සැතපෙනවා...
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා...''
''...දුවගෙ මුවින් එන කැකුලු සිනාවේ....
සුවද මැදින් හෙට දවස උදා වේ......'' වැනි මා දන්නා සිංදු කිය කියා.
මා මගේ ජීවිතයේ දී මුහුණ දුන් අමිහිරි කටුක බියකරු අත්දැකීම් කවම කවදාවත් මගේ දුවට විදින්නට සිදු නොවන්නැයි පැතුවා!
මා හඩවමින්...., මා සනසමින්.... මගේ හදවතේ ගැඹුරුම තැනයි නුඹ සිටින්නේ....
පාර තොටේ මට මුණගැහෙන හැම දුවෙකුගෙ මූණෙන්ම මා දකින්නේ නුඹේ මුහුණ.
ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ ගීතයේ පරිද්දෙන්ම දුව මගේ හිත පුරා හැම විටම ජීවමානව ඉන්නවා දැනෙනවා.
පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා
පුංචි දුවෙක් ඉස්කෝලෙට එක්කන් යනවා
හිත ඇතුලෙන් මමත් දුවෙක් එක්කන් යනවා
පුංචි ළමයි පිරිසක් මැද දුවෙක් අඩනවා
මගේ පුංචි දූ ඇඩුවැයි මට සිහිවෙනවා
පුංචි ළමයි කුසගින්නේ පාරෙ අඩනවා
මගේ දූට කිරි දුන්නද මට සිහිවෙනවා
පුංචි ගවුම් කඩ පිල් වල සුළගෙ වැනෙනවා
පුංචි දුවෙක් හිත ඇතුලේ ඒව අදිනවා
වැඩ ඇරිලා හැන්දෑවේ මං ගෙට එනවා
ලෝකෙම පොඩි ළමයි දූගෙ මුහුණෙ පෙනෙනවා
අද උදෑසනම මා වෙත ලැබුණු දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණේ මගේ බාප්පාගේ දා හත් හැවිරිදි දුව 'හොරෙන් පැන ගිය පුවත...'ක්.
එය හුදු සිද්ධියක්ව උහුලාගත්තෙ නෑ මගෙ හිත.
ජෛව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක විවරණ කරමින් තර්ක කරන්නේ නෑ මගෙ හිත.
ඒ වෙනුවට මම දුක් වෙනවා.
හිතින් හඩා වැටෙනවා.
බිය වෙනවා.
මම දුක් වන්නේ, හිතින් හඩා වැටෙන්නේ, බිය වන්නේ මගේ ඥාති සහෝදරිය වෙනුවෙන් ම නොවේ.
වැඩිමනත් මගේ දුව චන්ද්‍රවතී නුඹ වෙනුවෙන්.
මගේ පුංචි ඥාති සහෝදරියගේ ඉරණම කුමක් වේ දැයි මා නොදනිමි.
ආදරය වෙනුවෙන්, ඇය ගත් තීරණය වෙනුවෙන් ඇගේ පෙම්වතා ඇයට කවර සාධාරණයක් / අසාධාරණයක් කරාවිදැයි නොදනිමි.
මගේ රත්තරන් දුව,
ආදරය සහ විවාහය යනු ගැහැණියකට සෙල්ලමක් නොවේ.
එහෙත් හැම විටම නොවුණත් බොහෝවිට පිරිමින්ට ඒ තරම් බරපතළ දෙයක් නෙවෙයි.
ආදරය වෙනුවෙන් ඒ දවස් වල මා ආදරය කළ මගේ පෙම්වතුන් වෙනුවෙන් මා හැම විටම ගෙවා ඇත්තේ හැකි උපරිමයෙනි.
ඔවුන් මට සොච්චමක්වත් දී නැත.
ලස්සන ගීතයක විචාරයට තුති.
ReplyDelete