Thursday, April 19, 2012

''ලොකු එකා-පොඩි එකා''

ඒ පැත්තෙන් තාමත් රස්සාවක් නැති ලොකු එකා... මේ පැත්තෙන් කටේ කිරි සුවද යන්නටත් කලියෙන් ගෑණියෙකුත් කරේ ගහගත් පොඩි එකා... උන් දෙන්නව ඔලුවට බරක් කරගෙන හැම තිස්සෙම අහස පොළොව ගැටලමින් ඉන්න කොල්ලො දෙන්නගෙ මහ එකා... මං ඉන්නෙ කොහිල කටු ගාලක, තම්බන්න මොනවත් හොය හොයා...

ලොකු එකා වැඩිමනත් කාලය ගෙවන්නෙ පුස්තකාලයේ නැත්නම් ඇතුලු ගෙයි උගේ කාමරේ. දැනුත් ඔය ඉන්නෙ පොතක් ගිලගෙන... ‍හදල ළගටම ගෙනහුන් දුන්නු තේ කහට ඩිංගිත්තත් හීල් වෙනවා. පොඩි එකා මේ මහ දවාලෙත් අරකිත් එක්ක කාමරේ අගුලු දාගෙන, හුස්ම සද්දයක් ඉතරයි ඇහෙන්නෙ.

කොල්ලන්ගෙ තාත්ත දැං මග බලාගෙන ඇති කහට බොන්ඩ. යන්ඩ ඕනෑ විගහට හේන පැත්තට.

ගම් සබා පාර මගෑරගෙන මං දැන් වැඩිපුර යන්නෙ එන්නෙ කැලෑ පාරෙ, මිනිස්සු මුලිච්චි වෙනවට බයේ. උන් එක එක කතා කියනවා අනේ අසරණ අපි දෙන්නට... උස් මහත් වෙච්චි කොල්ලො දෙන්නෙක් ඉන්දැද්දි කැලේ කොලේ ගාට ගාටා පොළොවෙ හැපි හැපී තාමත් උන්නෙ බඩ කටවල් පුරෝනව කියල ගමේ උන් අපි දෙන්නට අනං මනං කියනව.

ලොකු එකා විස්ස විද්‍යාලෙට සමර්ත කරාපු දවස මගේ ඉහේ මලක් වැටුණ ගාණයි. කොයියම්ම එහෙකටවත් වැඩිය කතා නොකරන කොල්ලන්නෙ තාත්තත් එදා තමයි වැඩියෙම කතා බහ කරපු දවස. තන්තොසෙ මූණෙ පිරිල තිවුණා. ඒ අදින් අවුරුදු පහකට ඉතර එහා. විස්ස විද්‍යාලෙත් විභාගත් ‍ඔක්කෝම ඉවර කරල ගෙදර ආපු ගමන කොල්ල තාමත් ගෙදරමයි.

පොඩි එකා අඩු කුලේ කෙල්ලකුත් අරං ගමෙන් පැනල ගිය දවස අපිට තරු වීසි වුණු දවස. එහේ මෙහේ හැංගි හැංගි ඉදල අන්තිමට ගෙදෙට්ටම පල්ලං වුණා. මාහිතේ ඒ කෙල්ල දැං බඩින්, මූණ සුදුමැලි කරල. මුණුපුරෙකුගෙ හුරතලයක් බලන්න නං බෝම හිතයි. ආසයි. ඒත් මේ වියදං එහෙම කොහොම වෙයිද මංද අද කාලෙ. ළමයෙක් ලොකුමහත් කරගන්න එක එච්චර ලේසි පාසු නෑ. ඒත් පොඩි එකාට තාම දැනුං තේරුං මදි. ඕකගෙ උගුරු දණ්ඩ කැඩුණෙත් ඊයෙ පෙරේද වගේනෙ.

''ලොකු එකා...පොඩි එකා....පොඩි එකා....ලොකු එකා...ලොකු එකා....පොඩි එකා.....ලොකු...පොඩි....''
හිතේ වෙන මොකවත්ම සද්දයක් නෑ....මන්තරයක් හේ  මතක් වෙන්නෙම ලොකු එකා...පොඩි එකා....
අරුන්දැත් දැං කලියෙංටත් වඩා නිස්සද්දයි. ඉන්තේරුවටම උන්දැගෙ හිතෙත් ඇත්තෙ ඔය පදේම වෙන්ටැති.

ලොකු එකාට නං සල්ලියක් හොයන වගක්වත් නෑ වාගෙ. ඌත් එක්ක කතා කරල දිනන්නයැ. ඒ මදිවට මට වැඩියෙන් දැනෙන්නෙ දුක. ඌ කියල මොනව කරන්නද? රස්සාවලට ඉල්ලුං පත්තර දානව මිහක. මොකෝ ඔච්චරත් ඉගෙන ගෙන කුලියක් මලියක් කලෑකියැ.

පොඩි එකා නං ඔය මොන මොනවද කරනවා ටවුන් එකේ. එහාට මෙහාට යනවා. බිස්නස් කරනව කියලයි අහන එහෙකුට කියන්නෙ. මට නං ඕවා තේරෙන්නෙ නෑ.මට හිතෙන්නෙම ආං අර හේනෙ වැඩකට උදව් වෙලා, ඒ ගමන්ම පහළ වත්තෙ රබර් ටිකක් වත් දාන්න මහන්සි වුණොත් හොදා කියල. කවද හරි මේ දේවල් ඌටනෙ. ලොකු එකාට දැං තාම රස්සාවක් නැති වුණාට කවදාම හරි ආණ්ඩුවෙ රස්සාවක් නොලැබෙතෑ.

ඕන්න බොල මේ පෝයත් ලංවුණා නෙවෙද? මට හාං කවිසියක සිහියක් නෑ නෙව. හාමුදුරුවො කොහේද දානෙකට වඩිනව වෙන්ටැ ඇබිත්තයත් එක්ක. උන්නාන්සෙ දැකපු ගමනයි පෝය මතක් වුණෙත්. ඒ තියා පන්සල් ගියත් අහන බණ කතාවක්වත් මතක හිටින්නැති එකයි පුදුමෙ. ඇයි ඉතිං මුලු හිතේම තියෙන්නෙ එකම මන්තරේ 'ලොකු එකා...පොඩි එකා...' නෙව.

එක අතකට මේ අපි දෙන්න ලබා උපන් හැටි වෙන්ටැ. ඒ අතිං සිරියාවතී අක්කල අපිට වඩා පහුගිය ආත්ම වල පිං කරල ඇති. අපේ දරුවන්නෙ පළේම වෙච්චි සිරියාවතී අක්කගෙ දරු තුන් දෙනාම දැං හොද පෝසත්. සිරියා අක්ක සිල් ගන්න පන්සල් එන්නෙත් ලොකු පුතාගෙ කාරෙකේ නොවැ. දරුවො සල්ලි අතිං ඉතරක් නෙවෙයි ගුණ යහපත් කමෙනුත් පෝසත්. මේ පෝයට දං සීට්ටුව ගත්තෙත් ඒ ළමය නෙව. මටත් ආසයි පොඩි එකා ලවා හරි ඔය කාසි වාසියක් උණු වෙලාවකවත් පන්සලේ උපාසක දානයක් කරවන්ට. ඒත් කොහෙද ඌට ඕවයෙ විස්සාසයක් නෑ නෙව. කකා බිබී ජෝගි දානව මිහක. නිස්කාරනේ සල්ලි නාස්ති කරනව. අනිත් අතට අරකිත් එක්ක කාමරේට වැදිල වැදූ අම්මට වත් නොදී වයිවාරන්න කෑම ජාති කන එකේ උපාසක දානයක් දෙන්ට පිං ඇතුවාය?

හානේ...එක එක ඒව හිතේ පටෝගෙන යන එන කොට ගමනත් බාල වෙනවා. ඉර මුදුන් පාල විඩේට කලියෙං මදුලු ගලවාපු හෙරලිය ගෙඩිය තම්බගන්ඩත් තියෙනවා. ඕන්න අරුන්දැගෙ මූණත් නාක් වෙලා. මගෙ දෙයියට හොදටෝම තිබහ වෙලා වාගෙ. අනේ ඉතිං ඉස්සරිං නං උන්දැ ඔය හේන පැලේ මාත් උස්සාන නටපු කාලෙකුත් තිබුණා නෙව. දැං නං ඇගේ පතේ හැටි. බලන්න දුකයි. ඒ මදිවට හන්දිපත් අමාරුවනොවැ. උන්දැ හොදටෝම නාකි වෙලා. තිබහටම වෙන්ටැ ඔය හති ලන්නෙ.

ඕන්න දැං හේනෙ වැට පැන්නට පස්සෙං උන්දැ පේන කොට තමා ‍මගේ පය ඉක්මන් වෙන්නෙ. දැං ඉතිං ආ පයිං ආපහු දුවන්ටත් එපාය. ඒත් ඉතිං උන්දැගෙ හෙවණෙ ටිකක් ඉන්ට ආසයි. අත්දෙක ඉඹින්ඩ ආසයි. තව ටිකකින් උන්දැ හීල් හෙවණෙ ඇල වුණාම පපුව ඩිංගිත්තක් අතගාන්ට ආසයි.....

ඕන්න ඉර මුදුන් වෙන්ට පටං ගත්ත. දුවන්ට ඕනෑ විගහට. දවල් කෑමට හෙරලිය තම්බලා, පොල් තලා දානවා. ලොකු එකා පොලුත් එක්ක හෙරලිය කන්ට ආස නෙව. පොඩි එකාට දුමේ හංගා තියෙන බල කෑල්ලක් වත් තෙල් දාල දෙන්ට ඕන. කරවල පුළුටක් නැතිව වේලක්වත් කන්නෙ නෑ නෙව.

No comments:

Post a Comment