Wednesday, April 25, 2012

සෙවණැලි අත් හළ මිනිස්සු

ආලෝකය ඇති කිසියම් තැනක අප විසින් මඟහැර නොයනු ඇත්තේ සෙවණැල්ලයි. මිතුරා  මිතුරිය ද, පෙම්බරයා පෙම්බරිය ද, සහෝදරිය සහෝදරයා ද, මව ද පියා ද අවස්ථාව ආ කළ අප විසින් අතහැරේ.

එහෙත් සෙවණැල්ල අතහැර නොයනු හැක. එය පවතින්නේ අප වෙතම ය.

හෘද සාක්ෂියක් උහුට තිබුණා ද?
හෘද සාක්ෂියක් තබා සෙවණැල්ලක් වත් තිබුණා ද?

සෙවණැල්ලක් මෙන්ම හෘද සාක්ෂියක් ද අයත්ව තිබූ උහු නිකම් ම නිකන් හුඹහක් වූයේ, කැමති නයෙකුට රිංගා ගත හැකි තරම් විෂට විවර වී.

අතුරුදන්ව කිසිදු තොරතුරක් නැතිව සිටින ගෝල්ඩ්ස්ටීන්ලා ට සමහරවිට‍ හෘද සාක්ෂියක් තිබුණා ද? උහු පක්ෂපාතී වූයේ පක්ෂයට නොවේ නම් 2+2=4 යන සරල සත්‍යයට ද?

වින්ස්ටන්ලාට අහිමිවූයේ හෘද සාක්ෂිය පමණක් නොවේ. සෙවණැල්ල ද අහිමි වූයේ, සිරුරේ සියලු ජීවී සාරයන් මිරිකාහැරියේ 'පක්ෂයෙන්' ම පමණක් නොවේ, විකල්පය විසින් ද උහු ගෙන ගියේ කම් පලක් නැති උතෝපියාවට ම නම්....සමස්ත ධෛර්යය ද වීර්යය ද ආශාවන් සහ ජීවිතය කැප ගත්තේ ඒ වෙනුවෙන් නම්, උහු උන් විසින් මංකොල්ලා නොකෑවා ද?

හැර ගිය ගෝල්ඩ්ස්ටීන්ලා ගැන සොයාපල්ලා.... සමහර විට උහු වින්ස්ටන්ලා ට හමුනොවූ විමුක්තිය සොයාගත්තා විය හැක.
ඒත් සමහර විට දළ රළේ ගසා ගිය උහු දකුණු ඉවුරේ කණ්ඩියේ රැදෙන්නට ඇත.
යළි හැරී අවුදින් වින්ස්ටන් ලා සමඟ ම වසනවා විය හැක.

නමුත් විමුක්තිය හමුවුණේ කාට ද? කොතැන ද?

කොහේ දී හරි නැති වූ හෘද සාක්ෂිය සහ සෙවණැල්ල සොයාපන්න. 

(ගෝල්ඩ්ස්ටීන්ලා සහ වින්ස්ටන්ලා අපට හමුවන්නේ 1984 දී.... එමෙන් ම 2012 දී.... හැමදාම හැමතැනම)




No comments:

Post a Comment