Monday, April 23, 2012

අප්‍රේල් වැහි සහ ඇස් තෙමන මතක


නිවාඩුව ඉවරවී දරු පැටව් පාසල් ගිහින්....
සෙල්ලම් පිට්ටනිය පාළුවේ තනි වී...

නගරයේ මං මාවත් යට කරගෙන
කුණු කාණු උතුරලා.
පැටව් ඉස්කෝලෙ ඇරිල ආවෙ සපත්තු තෙමාගෙන...
ගවුම් කලිසම් වල මඩ වතුර ඉහගෙන.

ගෙවී යන්නේ අප්‍රේල් මාසයේ අවසන් දවස්.
වැහි බර අදුරු දවස්.

කුලී ගෙදර කාමරේ වහලයේ හිල් වුණු තැන් වලින්
වැහි වතුර වැටි වැටී කාමරය තෙමනවා.

පරණ ක්වාටර්ස් එකක ගෙවුණු අපේ ළමාවියේ
එක්තරා අවුරුදු කිහිපයක් මතක් වී
නෙත් කෙවෙණි කදුලින් තෙමනවා.

මගේ සුදු මල්ලී...
කොහේ හරි ඉදන් ඔයා මේ සටහන දකිනවා නම්....
කියන්න මට-
ඔයාට මතක ද ඒ දවස්...

වැස්ස, ළමයින් සහ කාමරයට වැස්ස වැටීම යන කාරණා තුනම හේතු කරගෙන
මට මේ මොහොතෙ මතක් වෙන්නෙ ඒ දවස්....ඒ ගෙදර....ඒ කාලෙ

අප්‍රේල් අවසන් වන විට රත්නපුරේට මහ වැහි වැස්සා - මේ වාගෙම
නිවාඩුවෙ අපිත් සෙල්ලම් කළා ඇතිවෙන්න -
සියඹල ගහ යටටයි ළමයි එකතු උණේ සෙල්ලම් කරන්න
ඒ ක්වාටර්ස් එකේ පැරණි උළු වහලෙ
තැනින් තැන තෙමුණා - දැන් මං ඉන්න ගෙදර - මේ කාමරේ වාගෙම

වෙනසකට ඇත්තේ අද අපි දෙන්න එක තැනක නැති එක...

අපිට තිබුණේ පුංචි කාමරයක්....
වහින වෙලාවට කණ් වසා තොප්පි ඇදගෙන
ඇද උඩට වී...පොරෝනාවේ ගුලිවී...අපි හිටියෙ තුරුළු වී..
එකිනෙකාගේ උණුහුමේ.

කාණුව වතුරින් පිරුණාම
කඩදාසි බෝට්ටු පා කර යැව්වේ මම
අවතැන් වන කූඹින් ඒවාට ගොඩවනු දැක,
උන්ගේ කෑම සදහා ඒවාට සීනි සහ බත් ඇට දැමුවේ ඔබ.

තව තවත් මතක් වෙනවා...
වැස්සට කිසිදු සම්බන්ධයක් නැති - ඒත් ඒ ගෙදරට
අපේ ළමා වියට සම්බන්ධ
වෙන වෙනත් දේ...

එහේ හිටියා නොයෙක් වර්ගයේ සමනල්ලු...
ඔයාට මතක ද අපි උන් ව නම් කළා...
වැඩියෙන්ම හිටියෙ 'සරත්' යනුවෙන් නම් කළ වර්ගය.
කළු පාට පියාපත් වල කහ පාට තිත් ඇති විශේෂය.

සමනල්ලු ආවෙ තාප්පෙ ළග තිබුණු සේපාලිකා ගහට
සේපාලිකා මල් රොනට

සේපාලිකා ගහේ හැමදාම මල් පිපුණා...
ඔයයි මමයි ඒ මල්, වට්ටි වල පුරවගෙන
ක්වාටස් එක සහ කාර්යාලය වටේ පෙරහැරක් යනවා - 'සාදු සාදු බුදු පෙරහැර...' කිය කිය

කාර්යාලය ඉදිරිපිට විශාල තාප්පෙ දිගේ අපි ඇවිද්දා, අම්මට හොරෙන්
ඒක අපේ චීන තාප්පය.
දවසක් ඔයා ඒ තාප්පෙන් පහළට වැටුණා...
තවත් දවසක මමත් වැටුණා....

ඒ තා‍ප්පෙට නුදුරින් තිබුණා කොඩි ගසක්අපි ඒ කොඩි ගහ අතින් අල්ලගෙන කලන්තෙ හැදෙන තුරු කරකැවෙනවා...

ඒ දවස් වල - තාත්තා හිටියෙ නෑ ඒ ගෙදර
ඔයාට ඇහිල තියනවද, ඒ රාත්‍රී වල රහසේ අම්ම අඩනව

අපි දෙන්නා දෙපැත්තෙ තියාගෙන අම්මයි මමයි ඔයයි දොයියගත්තෙ එකට.
''අම්මා මගෙ පැත්තට හැරෙන්න'' කියල ඔයා කියනව...
එතකොටම මමත් කියනව  ''අම්මා මගෙ පැත්තට හැරෙන්න'' කියල
අම්ම උඩු බැලි අතට ඉන්නවා,
දෙන්නවම දෙපැත්තෙන් තුරුළු කරගෙන.

මහ රෑ අම්ම අඩනව
හීනෙන් හීනෙන් වගේ...
තාමත්
මේ දැනුත්
මට ඇහෙනව

ඔයා එතකොට පුංචිම පුංචියි
මම ටිකක් ලොකුයි
අම්ම හරි තරුණයි

දැන් දෙන්නම ලොකුයි.
සමහර විට ඔයා මටත් වඩා ලොකු ඇති.
අම්ම දැන් වයසයි

සමහරවිට
අම්ම තාමත් රෑට හීනෙන් අඩනව ඇති
අපි දෙන්න තුරුල්ලේ නැති දුකට

ගෙවී යන්නේ අප්‍රේල් මාසයේ අවසන් දවස්.
වැහි බර අදුරු දවස්.

මේ වහින්නේ
අම්මාගෙ කදුළු නම්....
මේ අදුර
අම්මාගෙ හිත වසා ගත් දුක නම්....
ඔන්න දැන්
විදුලිය කොටන්නේ
මගෙ හිතේ.










No comments:

Post a Comment