ඔහු මා වෙත එල්ල කළ බලවත් චෝදනාවක් නිසාවෙන් ඊයේ රාත්‍රියේ මට බෙහෙවින්ම ලජ්ජා සිතුනා යැයි කීවොතින් හරි.
ඔහු කිව්වේ මෙපමණයි...''කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න...ඔයා කියවනව අඩුයි නේද දැන්...''
එය ඉතා බලවත් සත්‍යයකි. මම මතක් කරමින් නිදාගත්තේ රත්නපුර මහ පුස්තකාලයේ පමණටත් වඩා වැඩිහිටි පොත් අතරේ ගෙවුණු ළමා විය සිහිපත් කරමිනි.
බාල වියේ තිබූ පුරුදු අතරින් මා අහිමිකරගත් ඉතා හොදම වැදගත්ම පුරුද්ද නම් 'වැඩි වැඩියෙන් කියවීමේ' පුරුද්දයි.
ජනමාධ්‍ය විද්‍යාලයේ 'සම්පත් කාමරය' නොහොත් 'පුස්තකාලය' දක්වා ම, මම පොත් සමග වැඩි වැඩියෙන් ඇගෑළුම් කම් පැවැත්වූවා මතකය. ඒ පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියන් වූ සාවිත්‍රිට මෙන්ම ඇගෙන් පසු පැමිණි ගෲෂා ට මා වදයක් වී සිටියේ මා පුස්තකාලය අරක්ගෙන සිටි බැවිණි.
එහෙත් මා තෝරා ගත් රැකියාවේ(ජනමාධ්‍ය) එක්තරා කාලකණ්ණිකමක් සේ මට දැනෙන්නේ දේශපාලකයින්ගේ නොවැදගත් කතා, වැඩිමනත් බොරු දත්ත වාර්තා සහ අතොරක් නැති ඕපාදූප අසා සිටිමින් සහ කියවමින් ඒවාම නැවත ලියමින්, නොඑසේ නම් කාලයෙන් කාලයට මාරු වන ආණ්ඩු වල නොපනත් කම් සහ කෙළවරක් නොවන මහජන ප්‍රශ්න වාර්තා කරමින් සිටීමට ගත කරන කාලය විසින් අහිමි කරනු ලැබුවේ වැදගත් පොත පත කියවීමට තිබෙන 'කාලය'යි.
ඊට අමතරව මා සහභාගී වු 'ක්‍රම විරෝධීන්ගේ අල්ලාප සල්ලාපයන්' සහ 'විකල්ප වාම වාදී කතිකා කවයන්' තුළ ද, පසුව විමසා බලන විට තේරුමක් නැති යැයි හැගෙන අප කළ 'නිමක් සහ නමක් නැති වැඩ' නිසා ද අපතේ යවා තිබෙන්නේ, විවිධ විෂයන් සහ කතන්දර කියවීමට තිබූ කාලයයි. (අප ඒවායෙහිදී ද කියවූවා තමයි - ඒත් එක රාමුවකට කොටු වී....අපේ මත සාධාරනිකරණය කර ගැනීමට සාක්ෂි සෙවීමට සහ තරගයට මෙන් ඒ ඒ කාලයේ තරුව වන ලේඛකයාගේ පොත් පත්...පමණි.)
කණගාටු වී පළක් නැහැ. දැන් කියවිය යුතුයි. වඩාත් වේගයෙන්, අවුරුදු හයක විතර ඇරියස් එකකුත් තියන නිසා.
එක්තරා කියවීමේ මාසයක(ඔක්තෝබර්) දී, මා විසින් ලියූ යාඥාවක් එම මාසයේ පාසලේ උදෑසන යාඥාව සදහා තෝරා ගැනිණ. පේළි පහකින් ලියූ යාඥාවේ අවසන් පේළිය පමණි දැන් මතකයේ තිබෙන්නේ....
''දෙවියන් වහන්ස, මා පොත් පත් අතර සිර කර තබත්වා...! ආමේන්....!''
No comments:
Post a Comment