Sunday, April 22, 2012

පළමුව ඒ පාතාල කරුවන්/මත් කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙනි - දෙවනුව මා වෙනුවෙනි.

මද උණ ගතියකින් සියොලග ඔද ගැනී තිබියදීය මා ඊයේ නින්දට ගියේ. රාත්‍රියේ එක්වනම අවදිවූයේ විකාර සිහිනයක් අතරතුරදී කවුරුන් නමුත් නිවසේ පිටුපස දොරට තඩිබාන හඩක් ඇසීමෙනි. සමහරවිට මැ පැහැරගන්නට පොලිසිය පැමිණ ඇත. එහෙත් මා ජීවත් වන්නේ අසූනවයේ නොවේ. මේ 2012 බව නිශ්චිතය. ඔව් ඒ නිසා...මේ 2012 නිසා මා බිය විය යුතුය.

මේ ‍2012 දී ඔවුහු අප පැහැරගැනීමට 'සුදු වෑන්' එවමින් සිටින නිසා. සමහර අය වාශ්පීකරණය කරනු ලැබ ඇති නිසා. රාජ්‍ය ඔත්තු සේවාවන් ද, පොලිසිය ද, හමුදාව ද, නාදුනන තුවක්කුකරුවන් ද නගරය අරක්ගෙන සිටි නිසා. නාදුනන මළ සිරුරු නගරයේ කුණු ඇලවල් වල දී හමුවන නිසා. 

ඊයේ ද තිහාරියේ මහ පාරේ පිළිස්සුණු තරුණියකගේ මළ සිරුරක් තිබිණි. මා ජීවත් වන වනාතමුල්ලේ යාබද වත්තකින් පිරිමි 33 දෙනෙක් 'පොලිසියෙන්' පැහැරගනු ලැබ තිබුණේ ද ඊයේ. මේ සතියේම මුල් දවසක මානව හිමිකම් නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවෙකු වාද්දුව පොලිසියට රැගෙන ගොස් වධ දී මරා දමනු ලැබීය.

ඉතින් අපේ ගෙදර පිටුපස දොරට තඩිබාන්නේ පොලිසියෙන් විය නොහැකි ද? අල්ලපු වත්ත, එනම් ටී.20 වත්ත පීරා 33 දෙනෙකු පැහැරගෙන ගිය පොලිසිය දැන් අපේ ලේන් එකට පැන ඇතිවාට සැක නැත. මා අවදිවන්නේ මරණ බියෙන් තැතී ගැනී. උණ සහ බය නිසා දහඩියෙන් තෙත් වී...

මා අවදිවන විට, ඒ වන විටත් අවදිවී සිටි ඔහු සිටියේ කුස්සියේ දොර ලග. සද්දය කුමක් දැයි විමසමින් සිටි ඔහු කාමරයට පැමිණ කීවේ ''ඒ කලවැද්දෙක්...'' කියා.

මොනතරම් අපූරු සමාන කමක් ද?  මා සිතුවේ පොලිසිය කියා. ඇත්තටම සිටියේ කලවැද්දෙක්. පොලිසිය වුවත් කලවැද්දා වුවත් හැසිරෙන්නේ එකම ආකාරයටය.කලවැද්දාට ඇත්තේ කැලේ නීතිය. පොලිසියට ඇත්තේ ද කැ‍ලෑ නීතිය.
වෙනසකට ඇත්තේපොලිසිය සන්නද්ධව සිටීම සහ කලවැද්දන් සන්නද්ධව නොසිටීම පමණි.

ඊයේ(21) බොරැල්ල - ටී.20 වත්තට කඩා වැදුණු පොලිස් විශේෂ විමසුම් ඒකකයක් විසින් එම වත්තේ පදිංචි පිරිමි 33 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්, ඊයේ සවස් වන විට බොරැල්ල - දෙමටගොඩ ප්‍රදේශයේ බේස්ලයින් පාර ද අවහිර කරමින් ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වී සිටියහ.

එම ප්‍රදේශවාසීන් මා සමග පැවසුවේ අද පාන්දර 5 ට පමණ  පොලිස් කණ්ඩායමක් වත්තට කඩා වැදී, තම දරුවන්, සැමියන්, සහෝදරයින්, අසල්වැසියන් පැහැරගෙන ගිය බවයි. පොලිසිය පවසා ඇත්තේ ප්‍රශ්න කර වරදකරුවන් නොවන අය නැවත නිවෙස් වෙත එවන බවයි. එහෙත් ඊයේ රාත්‍රිය වනතුරුත් ඔවුන් ‍කිසිවෙකුත් මුදා නොහැරි බැවින් තමන් සිදුවූ 'අයුක්තියට' එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කරන බව ඔවුන් මට පැවසුවා.

පොලිසිය පවසන්නේ 'මත් ද්‍රව්‍ය' ඇතුළු චෝදනා රැසක් සහ 'පාතාල' සබදතා පවත්වන බවට ලැබුණු තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. 

පළමුව මා මේ සටහන ලියන්නේ මගේ අසල්වැසි 'පාතාල කාරයා' සහ 'මත්කුඩු ජාවාරම්කරුවා' ද, ඒ අතරතුර ඊට කිසිදු සම්බන්දයක් නොමැතිව 'හුදු සැක' මත රැගෙන ගිය තරුණයා ද, පිරිමියා ද වෙනුවෙනි. මේ සියලු දෙනා නීතිය ඉදිරිපිට‍ සමානයෝ විය යුතුය. වරදකරුවන්ට දඩුවම් කරන නෛතික පිළිවෙතක් අපරාධ නිති සංග්‍රයේ ඇත. මේ පාතාලකරුවාද, මත්කුඩු වෙළෙන්දා ද මිනිසුන් වන නිසා සහ පුරවැසියන් වන නිසා ඔහුට හිමි විය යුතු අයිතිවාසිකම් තිබෙන බව අමතක නොකළ යුතුය.  


දෙවනුව මා මේ ලියන්නේ මා වෙනුවෙනි.


ඊළගට නොවේ නම් ඊළගට...ඊළගට....ඊළගට....ඔවුන් කුදලාගෙන යන්නේ මා.


නිමොලාර් සහෝදරය උඹ කිවු දේ හරි....මට ඒ අනතුර දැනටමත් දැනෙනවා.....බියකරු සිහින දකින්නේ ඒ නිසා.....මා සිරුර දහඩියෙන් තෙත් වී ඇත්තේ ඒ නිසා.

 


No comments:

Post a Comment