Tuesday, May 1, 2012

මැයි දිනය පාවා නොදෙව් !

අද මැයි දිනය යි. නො‍එසේ නම් ලෝක කම්කරු දිනයයි. 'පැය අටක එක්දින සේවා මුරයක්' වෙනුවෙන් දින ගනණක් එංගලන්තයේ චිකාගෝ හි දි උද්ඝෝෂණ කළ එංගලන්ත කම්කරුවන්ගෙන් පස් දෙනෙක් පමණ වෙඩි තබා මරනු ලැබූයේ 1886 මැයි පළමුවැනිදාවේ යි.

ඉන්පසුව 1890 මැයි පළමුවැනිදා 'ලෝක කම්කරු දිනය'ක් ප්‍රකාශයට පත්කරනු ලැබිය. එතැන් පටන් ලෝක කම්කරු ප්‍රජාව මැයි දිනයේ දී තම අයිතීන් උදුරාගන්නා පාලකයින්ට එරෙහිව සටන් පාඨ කියමින් පෙළපාලි හා රැලි පැවැත්වීමේ සම්ප්‍රදායක් ගොඩනගන ලදී.

1924 දී ශ්‍රී ලංකාව ද ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් යුතුව කොළඹ ප්‍රයිස් පිටියේදී මැයි පෙළපාලියක් සහ රැළියක් පවත්වන ලදී. ඒ අනුව ආරම්භයේදී ශ්‍රී ලංකාව 1924 සිට 1956 දක්වා සටන්කාමී ස්වාධීන කම්කරු මැයි දින පවත්වා ඇත.

එහෙත් 1956 සිට ශ්‍රී ලංකාවේ කම්කරු දිනය 'හුදු සැමරුම් දිනයක්' බවට පත්විය. එවකට දේශපාලන නායකයින්ද, විශේෂයෙන් වමේ නායකයින් පවා 56 ආණ්ඩුව කම්කරුවාගේ ආණ්ඩුවක් යනුවෙන් 'ඓතිහාසික ප්‍රවාදයක්' ගොඩනැගීමත් සමග ශ්‍රී ලංකාව ලෝක කම්කරු දිනය 'විකටරි දිනයක්' ලෙස 'සමරන්නට' පටන් ගනු ලැබීය. එය සනිටුහන් කරමින් පළමුවතාවට මැයි දිනය 'නිවාඩු දිනයක්' බවට පත් කෙරුණේ ද 56 දී ය.

බොහොමයක් සෙසු ආසියාතික රටවල් ද ප්‍රවණතාවක් ලෙස මැයි දිනය හුදු සැමරීමකට සීමා කරද්දී යුරෝපය, ඇමරිකාව සහ සමහරක් ලතින් ඇමරිකානු රටවල් තවමත් මැයි දිනය සටන්කාමී කම්කරුවාගේ බලය පෙන්වන දිනයක් ලෙස අභිමානයෙන් සමරනු ලබයි.

එහෙත් ශ්‍රි ලංකාවේ දේශපාලන පක්ෂ තම පක්ෂ වල බලය පෙන්වීමට (කමිකරුවන් නොවන) සිය බත්බැලයන් අගනුවරට ගෙන්වා කවා පොවා නටවා මැයි පෙළපාලි පවත්වන දහජරා සංස්කෘතියක් අත් කරගන්නා ලදී. එහි සටන් පාඨ වෙනුවට නායකත්වයට ආවඩන ප්‍රශස්ති ගයනු ද, සංස්කෘතික ප්‍රසංග පවත්වමින් ඉස්කොල වල ළමයින් ලවා සරඹ කරවා අත්පොළසන් දෙනු ද, කම්කරුවාගේ හඩ වෙනුවට දේශපාලකයාගේ හඩ යකඩ කටවලින් කෑමොර දෙනු ද දක්නට ලැබේ.

ශ්‍රී ලාංකීය කම්කරුවනි,
පාලකයා තොපේ වෘත්තීය අයිතිවාසිකම් ද, මානව හා සිවිල් අයිතිවාසිකම් ද උදුරාගෙන ඇත.
'උහුලා ගත නොහැකි බදු බරක්' ඔබේ කර මත පටවා රජය ඔබෙන් යැපෙන්නට පටන් ගෙන ඇත. දීමනාව, වැටුප, අර්ථසාධකය, විශ්‍රාම වැටුප පවා කොල්ලකනු ලැබ ඇත.
ඔබේ රාජ්‍යය ඔබ හුදෙක් 'කඹුරන්නෙකු' / 'වහලෙකු' ලෙස මිස 'කම්කරුවකු', 'පුරවැසියෙකු', 'මිනිසකු' ලෙස නොසලන්නේය.
කටුනායක වෙළද කලාපයේ දී ද, හලාවත දී ද වෙඩි තබා මරා දමනු ලැබුවේ ඔබේම සහෝදරයාය.

ඉදින් මේ එළඹ ඇත්තේ තොප 'තොප ම' වෙනුවෙන් අරගල කළ යුතු කාලය නොවේද?

No comments:

Post a Comment