එකල මා ජීවිතයේ මුහුණ දුන් ඇතැම් අද්දැකීම් දෙස පසු හැරී බලන මම අද ඒ ගැන පුදුම වෙමි. සතුටු වෙමි. පසුතැවෙමි. නිසල මනසින් යුතුව සිහිපත් කරමි.
ටියුනික් රේන්ද ඇල්ලූ රෝස පාට ජංගි හැදබෝනික්කන් නැළවූ කාලයේ මා හඩා වැටුණා නම්, ඒ වීදුරු වලලු කැඩී ගිය නිසාවෙනි. සමනලුන් පසුපස දිව යද්දී පා පැකිල වැටීමෙන් දණහිස් සීරුණු නිසාවෙනි. නිවාඩුව ඉවර වූ පසුව තාත්තා නැවත සේවය සදහා මා දමා යන විට දුක දැනීමෙනි. අම්මා මල්ලියෙක් අරන් එන්නට රෝහලට ගොස් දවස් ගාණක් නොපැමිණ සිටි විට මහා තනිකමක් දැනුණු නිසාවෙනි.
මල් මල් ගවුම් ඇද, පාට පාට සෙරෙප්පු සපත්තු අදින කාලයේ මල්ලී එක්ක රණ්ඩු කරද්දී ඇඩුවෙමි. අම්මා හෝ තාත්තා සැර කරද්දී ඇඩුවෙමි. පාසැල් කාලයේ ඇඩුවා නම් ඒ ලකුණු අඩුවීම නිසාය. තරග වලින් පරාජය වූ විටය.ඉන් පසුව පොත් පත් වළ, චිත්‍රපට වල චරිත ආරූඩයෙන් අඩන්නට පටන්ගත්තේ පාසලේ ඉහළ පන්ති වල දීය.
ඉන් පසුව උදා වූයේ සංග්‍රාමික යුගයකි. මා අභ්‍යන්තර සටනක යෙදී සිටියදී මා වෙත ක්‍රියාත්මක වූ බාහිර ප්‍රචණ්ඩත්වයන් ද අධික වූවා. මා පසුකළ මෑත අවුරුදු හයක පමණ කාලය ඉතා අනතුරුදායක ද, එමෙන්ම ලාංකීය සංස්කෘතික භාෂාවට අනුව ඉතා අවිනීත ද, අතිශයින්ම සෙල්ලක්කාරී ද විය. එකල්හි මා කිසිවිටෙක කිසිවෙකුට පෙනෙන්නට නොහැඩුවෙමි. කදුළු ලුණු රස දිවගට දැනි දැනී තිබියදී, මා සිටියේ අසංවර ලෙස හිනා වෙවී.
එහෙත් තවදුරටත් ඒ කදුළු වලට ගල් වී සිටින්නට නොහැකි වුණා. දිය වී වැගිරෙන්නට පටන් ගත්තා. බොහෝ දෙනෙක් මගේ කදුළු දුටුවා. මා අසීමිත ලෙස ලජ්ජාවට පත් වුණා.
ඔවුන් මා හුදෙකලා කරන්නට පටන්ගත්තා වගේම මමත් හුදෙකලා වන්නට කැමති වුණා.
ඝන වී තිබූ කදුළු, දිය වී වෑස්සීමෙන් අනතුරුව මට දැන් දැනෙනවා ඒවා වාශ්ප වී යන බව.
අද මගේ විසි අට වැනි උපන් දිනයයි.
මා සිටින්නේ සිනාසෙන්නට උත්සහ කරමින් - දෙතොල් පොපියන්නේ ඒ නිසා.
No comments:
Post a Comment