ඒ අම්මාට ඉන්නේ කැහැටු කුඩා කොලු පැටියෙක්. කොලුවා සිටින්නේ නහටු බල්ලා සමග පොරකමින්. කොලුවාගේ කිලුටු කමිසයේ වාටිය බඩ හරියෙන් විකාගෙන සිටින බල්ලා ගිරියෙන් අමුතු සද්දයක් පිට කරයි. කොලුවා කෑ ගසා හඩයි, කොලුවා දෝතින් ම බදාගෙන සිටින්නේ අවසන් රොටී කැබැල්ල.
අම්මා සිටින්නේ කුකුළු පොරයක් බේරමින්, මද කිපුණු පට්ටි කුකුල් නාම්බා කිකිළියන් එළවාගෙන යන්නේ ඒකියන් දූෂණය කරන්නටයි. කිකිළියන්ට තුවාල කරමින්, කොටමින් එළව එළවා ගොස් ඒ දේ කරනවාට ඇය කැමති නැහැ. ඇය ඉවසන්නෙ නෑ ඒ කුකුල් නාම්බාගේ කඩප්පුලි විදිහ. ඒ අනුව ඈ අතට අහුවෙන ඕනෑම කැටකින් මුගුරකින් ඌට පහරදී එළවා ගන්නවා. ඌ අමනාපයෙන් කොක් කොක් ගගා බැන වදිමින් පසු බැස යනවා.
කොක් කොක් කරච්චල් අතරේ ඈට ඇහෙන්නේ කොලුවාගේ ඇඩිල්ල. දැන් ඉතින් ඈ ගෙට දිව යායුතුයි, කොලුවාගේ රොටී කැබැල්ල බේරා දෙන්නට.
හොටු-කදුළු පෙරාගත් කොලුවා දැන් රොටී කැබැල්ල දිනා ගැනීමේ ප්‍රීතියෙන් ඉපිලෙනවා. බල්ලා නහටු පුක ඇදේට නටවමින් පැන දුවන්නේ කුස්සියේ සිට සාලය දිගේ විසි වී ආ ගිනිපෙනෙල්ලෙන් පහර කාගෙන ය.
ඉතින් ඊළග වේලට කොලුවාට තම්බා දෙන්න කිසි දෙයක් ගේ හරියේ නැහැ. ඒත් ඈ කුස්සියේ අහුමුළු අවුස්සනවා.
දහවල හිරු රැස දැඩි වෙමින් තිබියදී ළමයින් ඉස්කොලෙ ඇරී පාර දිගේ යනවා රංචු රංචු ගැහී... ''කොල්ලන්ට කෙල්ලන්ටත් බඩගිනි ඇති....ගෙවල් වල මොනව හරි තැම්බී තිබියන් උන්නෙ බඩවල් වල වැටෙන්.... '' ඒ අම්මා හිතනවා.
පරඩැල් වෙවී යන වෙසක් කූඩුව ළග, ඉස්තෝප්පේ බිම, කොලුවා නිදන්නේ කටත් ඇරගෙන.
ඒ අම්මා හදිසියේම ගෙට දුවන්නේ දුම යට සගවා තිබෙන නිධානයක් මතක් වී. වේලාපු බත් ටිකක් කඩදහියක ඔතා දුම යට නිධන් කර තිබෙනවා. ඒත් 'අග්ගුලි' හදන්නට පොලුත් සීනිත් නැහැ. දැන් ඈ කල්පනා කරනවා කුස්සියේ ඔබ මොබ ඇවිද ඇවිද.
ආයෙමත් ගණදෙවි නුවණ පහළ වූවාක් මෙන් සන්තොස වී වේලපු බත් ටික මුට්ටියකට දමා, මෙන්න බතක් උයනවා. ලිපට ගිනි පිඹින අතර ඉස්තෝප්පුවට එබී බලනවා.දරුවා තාම නිදි.
අල්ලපු ගෙදරකින් වත් හොදි ඩිංගිත්තක් ඉල්ලගත්තොත් කොලුවාට කවන්නට පුළුවන්. ඒත් ඉතිං ඒක නම්බුකාර නෑ.
කුකුල් කුඩුවට පැන පිදුරු ගොඩ අවුස්සා උණට උණේ තියෙන ලපටි බිත්තරයක් හොයාගන්නවා. එය හිල් කර ඒ බිත්තර සාරු පොලිතින් බෑගයක දමා ගැට ගසා කේතලේ ඇතුළේ දමා තම්බාගන්නවා. ඔන්න දරුවා ඇහැරුණු විගහින් බිත්තරය අර අමුතු බත් එක්ක අනා කවත හැකි.
හද කුරගාන හැන්දෑවේ හීනියට මත් වී ගෙට ගොඩ වදින කොල්ලාගේ තාත්තා දවසේ කුලිය ඈ අත මිට මොලවනවා. ඔහු දවස් ගණනාවකින් වැඩට ගියේ අද. ගෙදර උයන්න දෙයක් තිබුණෙත් නැති නිසා කොත්තු රොටියකුත් අරන් ඇවිත්. අද දවසටම ඇයට ලැබුණු එකම කෑම තමයි ඒ. දැන් කොලුවා හොදටම නිදි.
නිදන්නට පැදුරට වන් ඇගේ බදවටා අතක් දමමින්ද, සිරුරේ කොටස් මිරිකමින්ද කොලුවාගේ තාත්තා ඔන්න දැන් මනමාල කම් කරන්නට පටන්ගත්තා. ඇයට එය මහා වදයක් වුණා. ඇය ඔහුගේ අත් ගසා බසා දමද්දී ඔහු කුණුහරුපයෙන් බැණ වැදුනා. ටික වෙලාවක් නොබැන හිට ආයෙමත් කිකිළියන් දූෂණය කරන්නට යන පට්ටි කුකුළා මෙන් හැසිරෙන්නට වුණා. ඇය ඔහුට පහර දෙන්නට යමක් සෙව්වා, කළුවරේම.
දැන් ගේ ඇතුළේ රණ්ඩුවක්.
කොලුවා ඇහෙරේවිදැයි බියෙන් ඈ සිටින්නේ. ඌ ඕන කුදයක් ගහගත්දෙන් කියා හරියකට කෑමකුත් නොකා නිදන නොදරුවා ලගින් ඈ නිදාගත්තා.
''මට තව දරුවො ඕනත් නැහැ. ඌ එක්ක පැදුරෙ ඔට්ටු වෙන්ඩයි, උලන්ඩයි, හිතේ වත් ගතේ වත් හයියක් ඇත්තෙත් නැහැ'' යි කියමින් ඒ අම්මා කොලු පැටියාත් තුරුළු කරගෙන නිදන්නට වුණා.
No comments:
Post a Comment