Thursday, May 24, 2012

කෙල්ලගෙ පංචායුදෙත් ලියැවී තිබෙන ආසියානු ගැහැණියගේ ඉරණම

අම්මා විසින් උයා බෙදා තබන බත්-එළවළු කරි දීසි තාත්තාගේ අනුහසින් පියා හඹා බිත්ති වල වැදීමෙන් කුඩු පට්ටම් වන නිවසක ඉපිද හැදී වැඩුණු මා වැනි ගැහැණියක් කවදාවත් ම නොපැතුවේ අම්මාගේ වන් පවුල් ජීවිතයකි.
අහඹුවක් නොවන මෙවැනි කලබගෑනි වලින් පසුව අම්මා හඩා වැටෙනු දකිනා මම 'කවදාවත් ම පිරිමියෙක් එක්ක එකට ජීවත් නොවන' තරම් හදිසි තීරණ පවා ගෙන ඇත්තෙමි.

අල්ලපුගෙදර අක්කා සැමියාගෙන් පහර කමින් ගම පුරා දුවනු දැක ඇත්තෙමි.
ජෝන් සිය බිරිද මාරි ස්ටෙලා මරා දමනු ලැබුවේ ඇද මත නිදමින් සිටියදී මුව මත කොට්ටයක් තෙරපමිනි. ඇය කර තිබූ වරද 'අල්ලපු ගෙදර මිනිහා සමග ඕනෑ නැති තරමට කතා බහ කිරීම' යි.
අනුරාධපුරේ තුෂාරි අක්කගේ සහෝදරියකගේ දියණියක් සිය සැමියා වෙතින් මැරුම් කෑවේ මෝල් ගහකින් පහරකෑමෙනි.

ලේන් එකේ රණ්ඩුවක් ඇහෙද්දී කවුළුවෙන් එළිය බලන මා දකින්නේ හැමදාම උදේ වැඩට යන මූණෙ ලපයක් තිබෙන ගැහැණු ළමයාට කව්දෝ පිරිමියෙක් පහර දෙන අයුරුයි.
අල්ලපු ගෙදර අතපත්තු අංකල් කියන්නේ ඒ 'ගෑණියි-මිනිහයි රණ්ඩුවක්' කියා.

මිනිස්සු ගෑණුන්ට ගහන්නේ හැම විටම 'පිට පිරිමි' සහ 'කෑම වල ලුණු මිරිස් ප්‍රශ්න' නිසා යැයි ඉස්සර ආච්චි අම්මා කියනවා. මට ඒකට එකතු කරන්න තව හේතුවක් තියෙනවා. මිනිස්සු එයාලගෙ ස්ට්‍රෙස් එකටත් ගෑණුන්ට ගහනවා. රණ්ඩු කරනවා.

බටහිර ගැහැණියත් අඩු වැඩි වශයෙන් මිනිහගෙන් ගුටු කනවා. යටත් පිරිසෙයින් ආසියානු ගැහැණියගේ ඉරණම අතිශයින් ඛේදනීයයි.

පාන් කන්නට උයා තිබූ පරිප්පු හොද්දට ලුණු වැඩියි කියා ඒ ටික සින්කයට හලා පිගාන හෝදා දමන සැමියා ඔරොප්පුවෙන් ඇදට ගොඩ වී නින්දට යනවා. ළමයින් දෙදෙනාත් නිදි.

දවසේ කටයුතු හමාර වන්නේ හෙට උදේට උයන කලමනා පිළියෙළ කළායින් පසුවයි. නිදි බර දෑස් තෙමෙන්නේ ඔහු බඩගින්නේ නින්දට ගිය නිසා.

දැන් ඉතින් නින්දට යන්න වෙලාව හරි.

පුතුගේ මුව සිප දියණියගේ මුව ද සිඹිමි.

කුවන්ණාගේ ඉනේ බැද තිබූ දිය ලණුවේ ද ගැට ගසා තිබූ ගැහැණියගේ මේ ඉරණම, රන් එතනාගේ පන් මල්ලේ ද, ගුණවතීගේ සහ නාලිනීගේ හෑන්ඩ් බෑගයේ ද තිබුණා. මගේ කුඩා දියණියගේ පංචායුධයේ තියෙන්නේ ත් එවන් සලකුණ විය හැක.





Monday, May 14, 2012

උපන්දින සටහන.

එකල මා ජීවිතයේ මුහුණ දුන් ඇතැම් අද්දැකීම් දෙස පසු හැරී බලන මම අද ඒ ගැන පුදුම වෙමි. සතුටු වෙමි. පසුතැවෙමි. නිසල මනසින් යුතුව සිහිපත් කරමි.

ටියුනික් රේන්ද ඇල්ලූ රෝස පාට ජංගි හැදබෝනික්කන් නැළවූ කාලයේ මා හඩා වැටුණා නම්, ඒ වීදුරු වලලු කැඩී ගිය නිසාවෙනි. සමනලුන් පසුපස දිව යද්දී පා පැකිල වැටීමෙන් දණහිස් සීරුණු නිසාවෙනි. නිවාඩුව ඉවර වූ පසුව තාත්තා නැවත සේවය සදහා මා දමා යන විට දුක දැනීමෙනි. අම්මා මල්ලියෙක් අරන් එන්නට රෝහලට ගොස් දවස් ගාණක් නොපැමිණ සිටි විට මහා තනිකමක් දැනුණු නිසාවෙනි.

මල් මල් ගවුම් ඇද, පාට පාට සෙරෙප්පු සපත්තු අදින කාලයේ මල්ලී එක්ක රණ්ඩු කරද්දී ඇඩුවෙමි. අම්මා හෝ තාත්තා සැර කරද්දී ඇඩුවෙමි. පාසැල් කාලයේ ඇඩුවා නම් ඒ ලකුණු අඩුවීම නිසාය. තරග වලින් පරාජය වූ විටය.ඉන් පසුව පොත් පත් වළ, චිත්‍රපට වල චරිත ආරූඩයෙන් අඩන්නට පටන්ගත්තේ පාසලේ ඉහළ පන්ති වල දීය.

ඉන් පසුව උදා වූයේ සංග්‍රාමික යුගයකි. මා අභ්‍යන්තර සටනක යෙදී සිටියදී මා වෙත ක්‍රියාත්මක වූ බාහිර ප්‍රචණ්ඩත්වයන් ද අධික වූවා. මා පසුකළ මෑත අවුරුදු හයක පමණ කාලය ඉතා අනතුරුදායක ද, එමෙන්ම ලාංකීය සංස්කෘතික භාෂාවට අනුව ඉතා අවිනීත ද, අතිශයින්ම සෙල්ලක්කාරී ද විය. එකල්හි මා කිසිවිටෙක කිසිවෙකුට පෙනෙන්නට නොහැඩුවෙමි. කදුළු ලුණු රස දිවගට දැනි දැනී තිබියදී, මා සිටියේ අසංවර ලෙස හිනා වෙවී.

එහෙත් තවදුරටත් ඒ කදුළු වලට ගල් වී සිටින්නට නොහැකි වුණා. දිය වී වැගිරෙන්නට පටන් ගත්තා. බොහෝ දෙනෙක් මගේ කදුළු දුටුවා. මා අසීමිත ලෙස ලජ්ජාවට පත් වුණා.

ඔවුන් මා හුදෙකලා කරන්නට පටන්ගත්තා වගේම මමත් හුදෙකලා වන්නට කැමති වුණා.

ඝන වී තිබූ කදුළු, දිය වී වෑස්සීමෙන් අනතුරුව මට දැන් දැනෙනවා ඒවා වාශ්ප වී යන බව.

අද මගේ විසි අට වැනි උපන් දිනයයි.

මා සිටින්නේ සිනාසෙන්නට උත්සහ කරමින් - දෙතොල් පොපියන්නේ ඒ නිසා.

Friday, May 11, 2012

ඒ අම්මා...../ ඒ ගැහැණී.....

ඒ අම්මාට ඉන්නේ කැහැටු කුඩා කොලු පැටියෙක්. කොලුවා සිටින්නේ නහටු බල්ලා සමග පොරකමින්. කොලුවාගේ කිලුටු කමිසයේ වාටිය බඩ හරියෙන් විකාගෙන සිටින බල්ලා ගිරියෙන් අමුතු සද්දයක් පිට කරයි. කොලුවා කෑ ගසා හඩයි, කොලුවා දෝතින් ම බදාගෙන සිටින්නේ අවසන් රොටී කැබැල්ල.

අම්මා සිටින්නේ කුකුළු පොරයක් බේරමින්, මද කිපුණු පට්ටි කුකුල් නාම්බා කිකිළියන් එළවාගෙන යන්නේ ඒකියන් දූෂණය කරන්නටයි. කිකිළියන්ට තුවාල කරමින්, කොටමින් එළව එළවා ගොස් ඒ දේ කරනවාට ඇය කැමති නැහැ. ඇය ඉවසන්නෙ නෑ ඒ කුකුල් නාම්බාගේ කඩප්පුලි විදිහ. ඒ අනුව ඈ අතට අහුවෙන ඕනෑම කැටකින් මුගුරකින් ඌට පහරදී එළවා ගන්නවා. ඌ අමනාපයෙන් කොක් කොක් ගගා බැන වදිමින් පසු බැස යනවා.
කොක් කොක් කරච්චල් අතරේ ඈට ඇහෙන්නේ කොලුවාගේ ඇඩිල්ල. දැන් ඉතින් ඈ ගෙට දිව යායුතුයි, කොලුවාගේ රොටී කැබැල්ල බේරා දෙන්නට.

හොටු-කදුළු පෙරාගත් කොලුවා දැන් රොටී කැබැල්ල දිනා ගැනීමේ ප්‍රීතියෙන් ඉපිලෙනවා. බල්ලා නහටු පුක ඇදේට නටවමින් පැන දුවන්නේ කුස්සියේ සිට සාලය දිගේ විසි වී ආ ගිනිපෙනෙල්ලෙන් පහර කාගෙන ය.

ඉතින් ඊළග වේලට කොලුවාට තම්බා දෙන්න කිසි දෙයක් ගේ හරියේ නැහැ. ඒත් ඈ කුස්සියේ අහුමුළු අවුස්සනවා.

දහවල හිරු රැස දැඩි වෙමින් තිබියදී ළමයින් ඉස්කොලෙ ඇරී පාර දිගේ යනවා රංචු රංචු ගැහී... ''කොල්ලන්ට කෙල්ලන්ටත් බඩගිනි ඇති....ගෙවල් වල මොනව හරි තැම්බී තිබියන් උන්නෙ බඩවල් වල වැටෙන්.... '' ඒ අම්මා හිතනවා.

පරඩැල් වෙවී යන වෙසක් කූඩුව ළග, ඉස්තෝප්පේ බිම, කොලුවා නිදන්නේ කටත් ඇරගෙන.

ඒ අම්මා හදිසියේම ගෙට දුවන්නේ දුම යට සගවා තිබෙන නිධානයක් මතක් වී. වේලාපු බත් ටිකක් කඩදහියක ඔතා දුම යට නිධන් කර තිබෙනවා. ඒත් 'අග්ගුලි' හදන්නට පොලුත් සීනිත් නැහැ. දැන් ඈ කල්පනා කරනවා කුස්සියේ ඔබ මොබ ඇවිද ඇවිද.

ආයෙමත් ගණදෙවි නුවණ පහළ වූවාක් මෙන් සන්තොස වී වේලපු බත් ටික මුට්ටියකට දමා, මෙන්න බතක් උයනවා. ලිපට ගිනි පිඹින අතර ඉස්තෝප්පුවට එබී බලනවා.දරුවා තාම නිදි.

අල්ලපු ගෙදරකින් වත් හොදි ඩිංගිත්තක් ඉල්ලගත්තොත් කොලුවාට කවන්නට පුළුවන්. ඒත් ඉතිං ඒක නම්බුකාර නෑ.

කුකුල් කුඩුවට පැන පිදුරු ගොඩ අවුස්සා උණට උණේ තියෙන ලපටි බිත්තරයක් හොයාගන්නවා. එය හිල් කර ඒ බිත්තර සාරු පොලිතින් බෑගයක දමා ගැට ගසා කේතලේ ඇතුළේ දමා තම්බාගන්නවා. ඔන්න දරුවා ඇහැරුණු විගහින් බිත්තරය අර අමුතු බත් එක්ක අනා කවත හැකි.

හද කුරගාන හැන්දෑවේ හීනියට මත් වී ගෙට ගොඩ වදින කොල්ලාගේ තාත්තා දවසේ කුලිය ඈ අත මිට මොලවනවා. ඔහු දවස් ගණනාවකින් වැඩට ගියේ අද. ගෙදර උයන්න දෙයක් තිබුණෙත් නැති නිසා කොත්තු රොටියකුත් අරන් ඇවිත්. අද දවසටම ඇයට ලැබුණු එකම කෑම තමයි ඒ. දැන් කොලුවා හොදටම නිදි.

නිදන්නට පැදුරට වන් ඇගේ බදවටා අතක් දමමින්ද, සිරුරේ කොටස් මිරිකමින්ද  කොලුවාගේ තාත්තා ඔන්න දැන් මනමාල කම් කරන්නට පටන්ගත්තා. ඇයට එය මහා වදයක් වුණා. ඇය ඔහුගේ අත් ගසා බසා දමද්දී ඔහු කුණුහරුපයෙන් බැණ වැදුනා. ටික වෙලාවක් නොබැන හිට ආයෙමත් කිකිළියන් දූෂණය කරන්නට යන පට්ටි කුකුළා මෙන් හැසිරෙන්නට වුණා. ඇය ඔහුට පහර දෙන්නට යමක් සෙව්වා, කළුවරේම.

දැන් ගේ ඇතුළේ රණ්ඩුවක්.

කොලුවා ඇහෙරේවිදැයි බියෙන් ඈ සිටින්නේ. ඌ ඕන කුදයක් ගහගත්දෙන් කියා හරියකට කෑමකුත් නොකා නිදන නොදරුවා ලගින් ඈ නිදාගත්තා.

''මට තව දරුවො ඕනත් නැහැ. ඌ එක්ක පැදුරෙ ඔට්ටු වෙන්ඩයි, උලන්ඩයි, හිතේ වත් ගතේ වත් හයියක් ඇත්තෙත් නැහැ'' යි කියමින් ඒ අම්මා කොලු පැටියාත් තුරුළු කරගෙන නිදන්නට වුණා.



Monday, May 7, 2012

සුලං කපොල්ලේ තැනූ කැදැල්ලක හැවිල්ල

රෂිනි දුව,
දුව ගැන විස්තර හුගක් අහල තිබුණට, පුංචි කාලෙ දැකල තිබුණට, ඊයේ පෙරේදා දවස් දෙකේ තමයි ඔයත් එක්ක යාලු වෙන්න, සෙල්ලම් කරන්න, ඔයාව හුරතල් කරන්න මට ඉඩ ලැබුණෙ.
ඔයා දැන් හරි චණ්ඩියෙක්නෙ.

ප්‍රසන්න,
ඔයා කොහෙද ඉන්නෙ?, කවුද ඔයාගෙ අලුත්ම පෙම්වතිය? සහ ඔයා කරපු දේවල් ගැන පසුතැවෙනවද?, නැද්ද? කියන කිසි තොරතුරක් මම දන්නෙ නැහැ.
හැම රෑම දරුපැටියයි ඔයාගෙ සරමකුයි තුරුළු කරන් නොනිදා හූල්ල හූල්ලා ඉන්න චම්පා දැන් හිටියටත් වඩා කෙට්ටු වෙලා කියල ඔයා දන්නවද?
මූණට මුණ නොගැහී නීතීඥවරයා මගින් දරුවටයි චම්පටයි දෙන රුපියල් 8000 ඒ දෙන්නට ජීවත් වෙන්න සෑහෙයි කියල ඔයා හිතනවද?
ගෙවල් කුලියයි, කෑමයි, දරුවගෙ වියදමුයි ඒ රුපියල් අට දාහෙන් සම්පූර්ණ වෙයි කියල ද ඔයා හිතන්නෙ?

දරුපැටියා දකින්න ආසාවක් ඇත්තෙම නැද්ද?
ඒ කෙල්ලපැටියා ගමේ හැමෝගෙම ආදරේ ලබනවා.... හැමෝම එයාව හුරතල් කරනවා..... ඒත් එයා තාත්තිව හොයනවා...
කොණ්ඩෙ කර්ල් කොල්ලෙක් පාරෙ ගියොත් ''තාත්ති...තාත්ති....'' කිය කියා උඩ පනිනවා.

චම්පා,
''ආයෙ කවදම හරි ප්‍රසන්න එයි...'' කිය කියා මග බලන් ඉන්න, කවදාවත්ම ප්‍රසන්නට වරදක් නොකියන පුංචි කෙල්ල (තාමත් අවුරුදු 22ක් සිපිරුණේ නැති)....
උඹේ ඔය ඉවසීම සහ ආදරය ඉදිරිපිට මාද ඇතුලත්ව තවත් බොහෝ ගැහැණුන් කුරා කුහුඹුවන් වනවා.
....ඇත්තටම ආපහු ප්‍රසන්න එයි....
ඔයා එහෙම කියනව නම් නොඑන්න විදියක් නෑ....


(අපේ රත්නපුරේ ගෙදර ඉදිරිපිට කුලී කැදැල්ලට ආපු අලුත් 'කුරුලු' ජෝඩුවක් සහ ඔවුන්ගේ අවුරුදු එක හමාරක පැටියාගේ වග...... කවුද හිතුවෙ උන් ඒ කැදැල්ල හදාගත්තෙ සුලං කපොල්ලක කියලා...)




Friday, May 4, 2012

කුවණ්ණා පුරාණය - දෙවන කොටස

තමා වෙතින් දූෂණය වීමෙන් පරිපීඩිතව, සිරුර කෙළින් කරගත නොහී, වැල්ලේ වැතිර අව්වේ රත්වෙමින් සිටින කුවණ්ණා දෙස මොහොතක් බලා සිටි විජය ඈ සිය දෝතින් ගෙන ලැහැබ වෙත ගෙන ගොස් කූඩාරමේ සතප්පා මෘදුව.... ඉතාම ඉතාම මෘදුව ඇගේ නිරුවත් සිරුර කේශාන්තය තෙක්, පාදාන්තය තෙක්  සිප ගනිද්දී කුවණ්ණාගේ හිතේ මේ මදාවියා ගැන ආදරයක් උපන්නා.

කුවණ්ණා විජයට ආදරය කරනවා...
කුවණ්ණා විජයට ආදරය කරනවා...

විජය ආසාවෙන් හා අනුකම්පාවෙන් ඇය සිපගන්නවා.

ඔව් විජයගේ හිතේ තියෙන්නෙ ආසාවක්....ආසාවක් සහ අනුකම්පාවක්....

සමාවෙන්න බුදුහාමුදුරුවනේ හෙට මං සිල් ගන්නෙ නෑ

සිල් සමාදන් වෙන්නට ඔන්න මෙන්න තිබෙද්දී.... අරුයි, උගෙ මහඑකාලයි එකීලයි, දරුවන් පවා කීතු කීතු කරන තරහවක්.... ජම්මාන්තර ‍වයිරයක් පපු කැනැත්තේ කැලැත්තෙනවා.
ඕකුන්ට හෙණ ගහපිය! හෙණ නැත්නම් බෝම්බයක් වත් ගහපිය!

මගෙ අහිංසක මුණුබුරු මිණිබිරියන්ට හෙට ඉදන් උදේ කිරි‍ වේල වරදීවි කිරිපිටි කිලෝ එකක් රුපියල් අටසිය දහයක්. ලොකු කෙල්ල රස්සාවට යන නිසා උයන්නෙ ගෑස් වලිං මයි, ගෑසුත් රුපියල් තුන්සිය පණහකින් ගණන් ගියා ලු. පොඩි එකා පෙරුං පුරල පෙරුං පුරල යාන්තං අත්තිවාරම කැපුවා ඉතරයි, සිමෙන්තිත් ගණං ගියා.....ඉතිං බාස් කුලියත් වැඩිවෙනවා.....ඌ ගේ හදාගන්නෙ කොහොමද?

අනේ බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න! අරුන්ට නං හෙණ හතම වැදිය!

ඇයි යකෝ... ඉන්ධන ‍මිළ වැඩි කළා...... බස් ගාස්තුත් වැඩි කරපි..... ප්‍රවාහන වියදං වැඩි කළ හින්දා හැම බඩුවකම මිළ රුපියලෙන් දෙකෙන් වැඩි වුණා..... වෙන එකක් තියා රුපියල් හතරෙ ගිනි පෙට්ටියක් දැං රුපියල් නමයයි.

විදුලි ගාස්තු වැඩි කළා.... වාහන මිළ වැඩි කළා..... එතකොට සිගරට් අරක්කු මිළත් වැඩි කළා... පිටි මිළ වැඩි කළා....පාං මිළ දෙපාරක් වැඩි කළා.

මළ හත්ඉලව්වෙ අරුං මරාගෙන මැරෙන්න එකෙක් නැතුවාද? උං දරු පරම්පරා ගාණකට හම්බ කරගනිද්දි අපේ දරුවො බඩගින්නෙ මැරෙන්නද?

අනේ බුදුහාමුදුරුවනේ මට තමුන්නාන්සෙගෙ බණෙනුත් කාරි නෑ...
ඔබ වහන්සෙ 'වයිරයෙං වයිරය සංසිදෙන්නෙ නෑ.... මයිත්තිරී කරන්ඩ' කිය කියා දේසනා කළාට, ඕවා හොදයි කෝපි කාලෙට...
අම්මප බුදු හාමුදුරුවනේ... හෙට වෙසක් නෙවෙයි ඊටත් ඉහළ පෝයක් වුණත් මට එන්න වෙන්නෙ නෑ සිල්ගන්න....
මං මෙදා පෝයට සිල්ගන්ඩ සැදී පැහැදී හිටිය තමා.....ඒත් මගෙ හිත හොදටෝම වෙනස් වුණා...
මං...මං...හෙට මං යනව කෝවිල්. අරුං හැදිගෑවිලා යන්න මිරිස් අඹරෝනව..... මතුරෝල පොල් ගහනව...

අහිංසක මං කියල වෙන මොනව කරන්නද, වෙන යං දඩුවමක් පමුණුවන්ඩ මට වරං නැතුවා.

Tuesday, May 1, 2012

(අ)තීරණය.

මා සිටින්නේ අඩ නින්දේ...
ඔහු සිටින්නේ තද නින්දේ....
කුටියෙන් පිට මිදුල දිගේ ඇහෙන්නේ
හුරු පුරුදු අඩි සද්දේ....
....................................


නිදි නැති දෙනෙත් පියගසයි
වෙර නැතිව පා පටලැවෙයි...


දරුපැටවුන්ගෙ හෙට ගැන
දහසකුත් හීන දකිමින්
ඔහු නිදන්නේ මා තුරුල්ලේ....



කළ වැරැද්දට පසුතැවෙනවා මිස
කිසිම හිතක් නෑ
දොරගුලු හරින්න.














 




මැයි දිනය පාවා නොදෙව් !

අද මැයි දිනය යි. නො‍එසේ නම් ලෝක කම්කරු දිනයයි. 'පැය අටක එක්දින සේවා මුරයක්' වෙනුවෙන් දින ගනණක් එංගලන්තයේ චිකාගෝ හි දි උද්ඝෝෂණ කළ එංගලන්ත කම්කරුවන්ගෙන් පස් දෙනෙක් පමණ වෙඩි තබා මරනු ලැබූයේ 1886 මැයි පළමුවැනිදාවේ යි.

ඉන්පසුව 1890 මැයි පළමුවැනිදා 'ලෝක කම්කරු දිනය'ක් ප්‍රකාශයට පත්කරනු ලැබිය. එතැන් පටන් ලෝක කම්කරු ප්‍රජාව මැයි දිනයේ දී තම අයිතීන් උදුරාගන්නා පාලකයින්ට එරෙහිව සටන් පාඨ කියමින් පෙළපාලි හා රැලි පැවැත්වීමේ සම්ප්‍රදායක් ගොඩනගන ලදී.

1924 දී ශ්‍රී ලංකාව ද ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් යුතුව කොළඹ ප්‍රයිස් පිටියේදී මැයි පෙළපාලියක් සහ රැළියක් පවත්වන ලදී. ඒ අනුව ආරම්භයේදී ශ්‍රී ලංකාව 1924 සිට 1956 දක්වා සටන්කාමී ස්වාධීන කම්කරු මැයි දින පවත්වා ඇත.

එහෙත් 1956 සිට ශ්‍රී ලංකාවේ කම්කරු දිනය 'හුදු සැමරුම් දිනයක්' බවට පත්විය. එවකට දේශපාලන නායකයින්ද, විශේෂයෙන් වමේ නායකයින් පවා 56 ආණ්ඩුව කම්කරුවාගේ ආණ්ඩුවක් යනුවෙන් 'ඓතිහාසික ප්‍රවාදයක්' ගොඩනැගීමත් සමග ශ්‍රී ලංකාව ලෝක කම්කරු දිනය 'විකටරි දිනයක්' ලෙස 'සමරන්නට' පටන් ගනු ලැබීය. එය සනිටුහන් කරමින් පළමුවතාවට මැයි දිනය 'නිවාඩු දිනයක්' බවට පත් කෙරුණේ ද 56 දී ය.

බොහොමයක් සෙසු ආසියාතික රටවල් ද ප්‍රවණතාවක් ලෙස මැයි දිනය හුදු සැමරීමකට සීමා කරද්දී යුරෝපය, ඇමරිකාව සහ සමහරක් ලතින් ඇමරිකානු රටවල් තවමත් මැයි දිනය සටන්කාමී කම්කරුවාගේ බලය පෙන්වන දිනයක් ලෙස අභිමානයෙන් සමරනු ලබයි.

එහෙත් ශ්‍රි ලංකාවේ දේශපාලන පක්ෂ තම පක්ෂ වල බලය පෙන්වීමට (කමිකරුවන් නොවන) සිය බත්බැලයන් අගනුවරට ගෙන්වා කවා පොවා නටවා මැයි පෙළපාලි පවත්වන දහජරා සංස්කෘතියක් අත් කරගන්නා ලදී. එහි සටන් පාඨ වෙනුවට නායකත්වයට ආවඩන ප්‍රශස්ති ගයනු ද, සංස්කෘතික ප්‍රසංග පවත්වමින් ඉස්කොල වල ළමයින් ලවා සරඹ කරවා අත්පොළසන් දෙනු ද, කම්කරුවාගේ හඩ වෙනුවට දේශපාලකයාගේ හඩ යකඩ කටවලින් කෑමොර දෙනු ද දක්නට ලැබේ.

ශ්‍රී ලාංකීය කම්කරුවනි,
පාලකයා තොපේ වෘත්තීය අයිතිවාසිකම් ද, මානව හා සිවිල් අයිතිවාසිකම් ද උදුරාගෙන ඇත.
'උහුලා ගත නොහැකි බදු බරක්' ඔබේ කර මත පටවා රජය ඔබෙන් යැපෙන්නට පටන් ගෙන ඇත. දීමනාව, වැටුප, අර්ථසාධකය, විශ්‍රාම වැටුප පවා කොල්ලකනු ලැබ ඇත.
ඔබේ රාජ්‍යය ඔබ හුදෙක් 'කඹුරන්නෙකු' / 'වහලෙකු' ලෙස මිස 'කම්කරුවකු', 'පුරවැසියෙකු', 'මිනිසකු' ලෙස නොසලන්නේය.
කටුනායක වෙළද කලාපයේ දී ද, හලාවත දී ද වෙඩි තබා මරා දමනු ලැබුවේ ඔබේම සහෝදරයාය.

ඉදින් මේ එළඹ ඇත්තේ තොප 'තොප ම' වෙනුවෙන් අරගල කළ යුතු කාලය නොවේද?