Monday, February 27, 2012

ඇතුළත ගිනි, පිට ගිනි හා වමනය

ලංකාව කියන්නෙ මාසෙකට තුන් හතර පස් වතාවක්....සමහර විට ඊටත් වැඩි වතාවක් උද්ඝෝෂණ පැවැත්වෙන රටක්...කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුමේ විරෝධතා පුවරු එසවෙන ඒ දවස් වලට පොලීසියට වැඩ වැඩි වෙනවා....ළඟක දි ඉඳන් හමුදාවටත් වැඩ වැඩිවෙනවා....දණ බිම ඇණගෙන වෙඩි තියල විරෝධතාකරුවන්ව මරන්න පවා සිදුවෙලා තියෙනවා...විශ්ව විද්‍යාල වලට කඩා පැන විරු සිසු ස්මාර්ක වලට බෝම්බ ගසන්න පවා...සිදුවෙලා...

මේ බොහෝ උද්ඝෝෂණ වලට වැඩි පිරිසක් සහභාගි වෙන්නෙත් නැහැ. ඒත් ශිෂ්‍ය උද්ඝෝෂණ සහ පක්ෂ මගින් කරනු ලබන උද්ඝෝෂණ වලට නම් සැලකිය යුතු පිරිස් සහභාගි වනවා...පිරිස් සහභාගීත්වය කොහොම වුණත්, 'මහජන පීඩාව' පදනම් කරගෙන උද්ඝෝෂණ පැවැත්වීමටත් ප්‍රථම ඒවා වළක්වන්න අධිකරණ නියෝග ගන්න පොලිසිය නොපැකිළ කටයුතු කරනවා....
ඒත් අද ‍කොළඹ ඇතුළු සෑම නගරයකම රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණු 'ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට පක්ෂ පාතී උද්ඝෝෂණ වලදී පොලිසිය ස්වේච්ඡාවෙන් තුමූ ම 'මහජන පීඩා කරමින් පාරවල් වසා දමා' පෙළපාලි කරුවන්ට අනුග්‍රහ දක්වනු දක්නට ලැබුණා...මුන්ට උද්ඝෝෂණ කරන්නට තිබෙන අයිතිය උන්ට නැත්තෙ ඇයි..?
අද පළමු වමනය සිදුවූයේ ඒ පොලිසිය පිළිබදවයි. ඒ පොලිසියට අණ දෙන තැන් පිළිබදවයි.

දෙවනුව වමනය සිදුවූයේ අද පාරට බැහැපු 'ජන ගඟ දුටු විට' යි. ඊයෙ පෙරේදා බත්පතට ම‍ කෙළවාගත් මහජනතාව එදා පාරට බැස්සා නම්..., නොබැස්සේ ඇයි...? කියලා....හිතෙනකොට ආයෙත් වමනෙට එනවා.


 මිනිස්සු පාර තොට වල රස්තියාදු වෙවී බන් කි මූන්ගෙ පඹයින් පුළුස්සමින් ඉන්න අතර තුර ඇත්තටම ජිනීවා ‍වල වෙන දේ ගැන තාමත් හරි ආරංචියක් නැහැ...

ලෝකය ලංකාව දිහා බලන්නෙ කුමන ඇහැකින් ද කියන කුතුහලයෙන් අන්තර්ජාලය පීරමින් ඉන්න විට ඩෙස්මන්ඩ් ටුටූලගෙ මේ අදහස් ඇහැ ගැටුණෙ, ගාඩියන් පිටුවක දි...


''................ශ්‍රී ලංකාව රටක් වශයෙන් 'වගවීමෙන්' සහ 'එකගතාවයෙන්' සිටීමට දරන්නාවූ පරිශ්‍රමයන් උසස් තත්වයට පත් කිරීම සදහා එක්සත් පාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අවස්ථාවක් ලැබී තිබෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් කළ යුතු කාර්යභාරයක් ද වනවා. එරට කල් පවත්නා සාමයක් ස්ථාවර වීමට නම්, වගවීම සහ එකගතාව ඉතාම වැදගත්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තම කාර්ය නිසියාකාරයෙන් ඉටුකරන්නේ නම් එය ශ්‍රී ලංකාවෙ මිනිස්සුන් වෙනුවෙන් විතරක් නෙවෙයි විශ්වීය මානව අයිතිවාසිකම් සහ රාජ්‍යයන් විසින් වග කියන ජාත්‍යන්තර නීති පිළිබද විශ්වාස කරන මුලුමහත් ලෝක වැසියා වෙනුවෙනුත් තහවුරු වේවි. ඔවුන් ඒ අයිතීන් පොදුවේ භුක්ති විදීවි.

ශ්‍රි ලංකාව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුද්ධයකින් පරාජයට පත් කර මේ වන විට වසර තුනක් ගතවී ඇතත්, තවමත් ඒ යුද්ධයේ දී දෙපාර්ශවයෙන් ම සිදුකෙරුණු යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද පුළුල් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර නැහැ. ඒ මිනිස්සුන්ට අත්විදින්නට සිදුවූ වේදනාවන් සැහැල්ලුවෙන් නොතකා හරින්න බැහැ.

2011 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ලංකාව සම්බන්ධයෙන් නිරීක්ෂණයට පත් කළ විශේෂඥ කමිටුව පළ කළ වාර්තාවේ සදහන්වුණා, ශ්‍රී ලංකා රජයේ හමුදාව සිවිල් වැසියන්ට 'යුද මුක්ත කලාප' වෙත පැමිණෙන්නට සලස්වා එම 'යුද මුක්ත කලාප' වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව. ඒ වගේම ඔවුන් නිරීක්ෂණය කර තිබුණා, එක්සත් ජාතීන්ගේ තාවකාලික නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වලටත් හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන ලද බව.

මේ අතර එල්.ටී.ටී.ඊ.ය සිය රැකවරණයට සිවිල් වැසියන් ආරක්ෂක පවුරක් ලෙස භාවිතා කළ බවත්, අවුරුදු 14 වැනි වයස් වල ළමා සොල්දාදුවන් සහ වයස්ගත වැඩිහිටියන් යුද්ධකිරීම සදහා යොදාගත් බවත් එ.ජා. විශේෂඥ කමිටුව එම වාර්තාවේම සටහන් කර තිබුණා.

ගැටුමේ අවසන් මාස කිහිපය ඇතුළත සිවිල් වැසියන් 40 000 ක් පමණ ඝාතනය වන්නට ඇති බව විශ්වාස කටයුතු සාක්ෂි විමසීම් වලින්  අනතුරුව එ.ජා. කමිටුව ඇස්තමේන්තු ගත කර තිබුණා.

තැතිගත් සිවිල් ජනයාගෙන් ඔවුන් මුහුණ පෑ බිහිසුන් අත්දැකීම් පිළිබද කමිටුවට වාර්තා වී තිබුණා. ඉන් එක කතාවක් තමයි 2008 සැප්තැම්බර් සිට 2009 මැයි වන තෙක් හත් වතාවකට වඩා අවතැන් වූ 6 හැවිරිදි දැරියක් ද සිටි පවුලක් අවසානයේ 'යුද මුක්ත කලාපයේ' කදවුරකදී ෂෙල් වැදී මිය යාමේ කතාව. ඔවුන් දැන් සිටින්නේ සලකුණක් වත් ඉතිරිව නැති සොහොනක.

දෙසැම්බරයේ දී එළි දැක්වුණු උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව ද නැවතත් යුද ගැටුම සහ යළි එකගතාවකට පත් වීම පිළිබද ජාතික කතිකාවකට මග පාදා තිබෙනවා. එහෙත් ඒ වාර්තාව ආණ්ඩුව බැරෑරුම් ව වගවිය යුතු කාරණා මගහැර තිබෙනවා. ළගක දි ආණ්ඩුව නිවේදනය කරළා තිබුණා, යුද්ධය සහ එහිදී හමුදාව ක්‍රියා කළ ආකාරයන් පිළිබදව හමුදාව මගින් අභ්‍යන්තර විමර්ශනයක නියැලෙන බව. එහෙත් ගැටුම අවස්ථාවේ හමුදාවේ ක්‍රියාකලාපයන් 'වෙනම' ගෙන විමර්ශනය නොකළ යුතුයි. එය සමස්ත සිදුවීමේ කොටසක් නිසා.

මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් නීති වලට අනුකූලව 'ශ්‍රී ලංකාවේ දී සිදුවූයේ කුමක්ද?' යන්න පිළිබදව එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලය මගින් සියලු පාර්ශවයන්ගේ විශ්වසනීයත්වය රැකෙන පරිද්දෙන් සාක්ෂි විමසමින් 'ස්වාධීන විමර්ශනයක්' පැවැත්වීමට යොමු වී තිබෙනවා.

''යුද වැදුණු දෙපාර්ශවයම යුද්ධයේදී මෙන්ම සාමයේදී ද කඩ නොවිය යුතු යැයි ජාත්‍යන්තර වශයෙන් සම්මත කර ඇති මානව හිමිකම් කඩ කර තිබෙනවා. ඔවුන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර තිබෙනවා.'' යනුවෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාව කියනවා.

මෙම තත්වයන් තුළ යුද්ධයෙන් දිනූ පාර්ශවය වන ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර නීතියට හිස නමා වගවීමෙන් යුතුව ජාත්‍යන්තරයේ විශ්වාසය පළුදු නොකර පුරවැසියන්ට යළි එකගතාවයෙන් යුතුව බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පරිසරයක් තම රට තුළ නුදුරු අනාගතයේ දීම නිර්මාණය කළ යුතු වෙනවා. එසේ නොවුණහොත් ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.


දියුණු සංස්කෘතියක්, ඉතිහාසයක් සහිත සම්පත් බහුල ලස්සන දූපතක් වන ලංකාව යළිත් මානව හිමිකම් උල්ලංඝනය කරන, අපරාධ කරන රටක් නොවීමට වග බලාගත යුතුයි. එහි සියලුම රටවැසියන්ට අර්ථාන්විත සාමයක් උදාකර දීම පිණිස ආණ්ඩුව අත්‍යවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණයන් කරගත යුතුයි.

අවසාන වශයෙන් මතු කළයුතු වැදගත්ම කරුණ තමයි, ලංකාවෙ මෑත අතීතයේ සිදු වූ ඒ සිදුවීම් පිළිබදව ජාත්‍යන්තරයේ මනා අවධානය යොමුවිය යුතු යි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය අධිකාරිය මගින් තමන් හමුවට ඉදිරිපත්ව තිබෙන මානව හිමිකම් කඩකිරීම් පිළිබද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මෙම වැදගත් කරුණු ඉදිරිපත් කිරීම වගකීමෙන් සිය විමර්ශනයට භාජනය කළ යුතු වන බව.........''

-ඩෙස්මන්ඩ් ටුටූ, ගෝලීය නායක සාමූහිකය වෙනුවෙන්...







No comments:

Post a Comment