Sunday, February 26, 2012

පළමුවැනි සැහැල්ල

වන වැදුනු දරුවනේ-
ජීවහත්ත, දිසාලා...මගෙ පුතේ..

නුඹලාව ගබ්සා කළ,
පාලමට යටින් ගලන ගඟට විසි කළ,
කැලෑවේ අතරමං කළ
ඒ අම්මා තමයි මම.

කැලේ කොල ගඩාගෙඩි ගෙනවුත්
තුනපහ ලුණු ඇඹුල් ඇතිහැටියකට අනා
කඩිත්තකින් ඩැහැගත් මාලු කූරියෙක් තම්බා
කවා
උඹලාගෙ බඩගෙඩි පිරවූ...
අතුරුපසට අයිස් ක්‍රීම් කැවූ...

මතක් කරන්නටවත් අකමැති තාත්තලගෙ මූණු එහෙම පිටින්ම පිටපත් කරගත්
නුඹලාට
වෛර නොකර ඉන්නට දමනය කරගත්
සිතැත්තිය...

බැල්ලක් පසුපස එන බලු පැටවු ටික වගේ
මගේ පස්සෙම වැටි වැටී ඇවිත්
මගේ තන මිරික මිරිකා කිරි බිබී මහත් වුණු
උඹලාට දැන් අමතකත් ඇති
ඒ ගැහැණි...
මම කුවේණි....

වනන්තරේ
ගහක් ගහක් ගානේ කොලයක් කොලයක් ගානේ
මලක් මල් පෙත්තක් ගානේ
ලියා තබමි -
සිය දිවි නසාගන්නට කළින් කිව යුතුව තිබූ හැම දේම.
ඒ සයිබර් පිටපත මේ සැහැල්ල.

එවේලේ කුසින් නිදහස් කළ කිරි දරුත්
කිහිල්ලේ ගහගෙන
මෝහිණී වෙස් ගමි...
එවේලේ විදි වේදනාවට
බෝදිලි අවතාරයෙන් කෙදිරිලමි...
පත්තිනිය නොවෙමි.

මුලින්ම රැහෙන් නෙරපනු ලැබුයෙමි.
ආදරය කළ විජ‍යගෙන් නෙරපනු ලැබුයෙමි.
71 සිරගත වීමි.
89 ටයර් සෑයක දැවුණෙමි.
ඇඟලුම් කම්හලේ රෙදි මැහුවෙමි.
අබුඩාබි ගිහින් ඇණ ගසාගන ආවෙමි.
2009 සැමියාද දරුවන් ද අසල්වැසියන් ද අහිමිව
පටාචාරාවක වීමි.
රෙදිත් නැතිව කිලිනොච්චි කාස්ටකේ පිස්සුවෙන් ඇවිද්දෙමි.

කිරිපිටියි, පරිප්පුයි, හාලුයි, ගෑසුයි ගණන් ගිය වෙලාවෙ
කුස්සියේ ගෙල වැල ලා ගතිමි.

උපත් පාලන කොපු හෑන්ඩ් බෑගයේ තිබූ වරදට දඩ කෑමි.
පොලිස් ලොක්කෙකුට නිදි වැදී
අන්තර්ජාලගත නිරුවත් රූපය වෙනුවෙන් සිරගත වීමෙන් වැලකුණෙමි.

මැරි මැරී යළිත් ඉපදි ඉපදී
කමින් බොමින් රමණය කරමින් කයි කතන්දර අසමින් තවමත් ජීවත් වෙමි.
එකසිය හත් වතාවක් රැ‍වටී එකසිය අටවැන්නාට ප්‍රේම කරමි.

තවමත් හීනයෙන් නොමිදුනෙමි.

No comments:

Post a Comment