Thursday, April 11, 2013

ආදරය සහ ඉවසීම සහ ආදරය?

ආදරය කියන්නෙ පුදුමාකාර ඉවසීමක් ඇති කරන භාවනාවක් වගේ එකකට ද? ඒක එහෙමනම් මේ දවස් වල අපි දෙන්නම කරන්නෙ භාවනා කරන එක. එයා මාව ඉවසනවා. මං එයාව ඉවසනවා. මගේ ඉවසීම ඉතාම දුර්වලයි. ඒක එයත් දන්නවා. එයා හිතනවද දන්නෑ මගේ ආදරේ අපරිණත අඩුපාඩු සහගත අසාර්ථක උත්සහයක් කියල.....

කොහොම වුණත් ඊයෙ රෑ වෙලා ටිකක් විතර මත් ගතියෙන් වුණත් පුළුවන් තරම් ඉක්මනින් මං එයා ළගට ඉගිලිලා ගියා. එයාගේ තුරුල්ලෙ උණුසුම හොයාගෙන....ඒත් එයාට ඕන වුණේ නැහැ මාව තුරුල්ලට ගන්න.... මුළු රෑ තිස්සෙම වර්ජිනියා වුල්ෆ් එයාගෙ උකුලෙ ඉන්නව මං දැක්ක. ඇදේ අනෙක් පැත්තට වෙලා මං හූල්ල හූල්ල ඇහැරගෙන හිටියා. පාන්දර තුනට එයා නිදන්න ලෑස්ති වුණා. මං එතකොටත් එයා එනකන් බලං හිටියා....

මගේ ඉවසීම ඉවර වුණා. මම පුපුරන්න පටන් ගත්තා. මං දැක්ක එතකොට එයා ඉවසනවා....මගේ රළු පරළු වචන...සමහර පොළවේ ගැසීම්....හයියෙන් දොර වසාගෙන එළියට යාම, ඇතුළට පැමිණීම  සහ නැවතත් දොර වසාගෙන එළියට යාම....ඉල්ලීම්....බැණ වැදීම් සහ අවලාද....

තවත් පැයකින් විතර අපි නින්දට ගියා....එකිනෙකා බදාගෙන.........ඒත් අපි ඉවසුවා.....

මං උදේ 6 ට නැගිටලා උයන්න පටන් ගත්තා....

මට මං ගැන, එයා ගැන වගේම වර්ජිනියා සහ ලෙනාඩ් ගැන දුක හිතුණා....



No comments:

Post a Comment