Thursday, April 11, 2013

දයාබර රෝසි 2

ඔයා හරියට කතන්දර පොතක පූසෙක් ......හුරතල්ම හුරතල් දගම දග ඤාව්වෙක් තමයි...... ඔයාගෙ සෝස පාත කත....සෝස නහය....පුංචි කන්පෙති....රත්තරන් පාත මවිල්....

මං අඩපු දවසක අඩපු ඔයාගෙ නිල් ඇස්...

මේ හැම දෙයක් එක්කම මගෙ රත්තරං පැටියා හැම නිතරම මට මතක් වෙනවා...

හැමදාමත් මං ඔයාට ආදරෙයි.

ඒක ඇත්තම ඇත්ත.

මං හැම උත්සහයක්ම දරන්නං ඔයාව මගෙ ළගම තියාගන්න.

ආදරණීය රෝසි

ඔයා මීට අවුරුදු එක හමාරකට විතර කලින් අපි ළගට ආවා. මං ඔයාට හරි ආදරෙයි රෝසි... ඔයා ඒක දන්නවා.... ඔයා සමහර විට තව දවස් දෙක තුනකින් අපෙන් වෙන් වේවි. මගේ කිසි කැමැත්තක් නැහැ ඔයාව රත්නපුරේ හරි ගාල්ලෙ හරි ගිහින් දාන්න... ඒත් මට එහෙම කරන්න වෙයි. 

මට සමාවෙන්න...

මට දැනුත් ඔයාව මතක් වෙලා ඇඩෙනවා... ඒත් හැම කදුලක්ම බිම වැටී බොදවී යන නිසා මම හිත හදාගන්න උත්සහ කරමින් ඉන්නවා...

අපි ඔයා පිළිබදව ගන්න හදන තීරණ ගැන හාන්කවිස්සියක්වත් නොදන්න ඔයා ඔහේ ඉන්නවා. වෙනදටත් වඩා ටිකක් කරදර කරනවා. සමහරවිට අපේ ඈත් වීමට බලපාන්නෙ ඔයාගෙ හිතුවක්කාරකම්.... ඔයා හිතුවක්කාර වෙන්න වෙන්න....අකීකරු වෙන්න වෙන්න ඔයා මගෙන් වෙන්වීමට සාධාරන පදනමක් හැදෙනව....ඔයා මේ කිසි දෙයක් දන්නෙ නැහැ...

ඔයාව මගෙන් වෙන් නොකීරීම වෙනුවෙන් හැකි සෑම දෙයක් ම කරන්නම්...

මගෙ රත්තරං පුතා...




ආදරය සහ ඉවසීම සහ ආදරය?

ආදරය කියන්නෙ පුදුමාකාර ඉවසීමක් ඇති කරන භාවනාවක් වගේ එකකට ද? ඒක එහෙමනම් මේ දවස් වල අපි දෙන්නම කරන්නෙ භාවනා කරන එක. එයා මාව ඉවසනවා. මං එයාව ඉවසනවා. මගේ ඉවසීම ඉතාම දුර්වලයි. ඒක එයත් දන්නවා. එයා හිතනවද දන්නෑ මගේ ආදරේ අපරිණත අඩුපාඩු සහගත අසාර්ථක උත්සහයක් කියල.....

කොහොම වුණත් ඊයෙ රෑ වෙලා ටිකක් විතර මත් ගතියෙන් වුණත් පුළුවන් තරම් ඉක්මනින් මං එයා ළගට ඉගිලිලා ගියා. එයාගේ තුරුල්ලෙ උණුසුම හොයාගෙන....ඒත් එයාට ඕන වුණේ නැහැ මාව තුරුල්ලට ගන්න.... මුළු රෑ තිස්සෙම වර්ජිනියා වුල්ෆ් එයාගෙ උකුලෙ ඉන්නව මං දැක්ක. ඇදේ අනෙක් පැත්තට වෙලා මං හූල්ල හූල්ල ඇහැරගෙන හිටියා. පාන්දර තුනට එයා නිදන්න ලෑස්ති වුණා. මං එතකොටත් එයා එනකන් බලං හිටියා....

මගේ ඉවසීම ඉවර වුණා. මම පුපුරන්න පටන් ගත්තා. මං දැක්ක එතකොට එයා ඉවසනවා....මගේ රළු පරළු වචන...සමහර පොළවේ ගැසීම්....හයියෙන් දොර වසාගෙන එළියට යාම, ඇතුළට පැමිණීම  සහ නැවතත් දොර වසාගෙන එළියට යාම....ඉල්ලීම්....බැණ වැදීම් සහ අවලාද....

තවත් පැයකින් විතර අපි නින්දට ගියා....එකිනෙකා බදාගෙන.........ඒත් අපි ඉවසුවා.....

මං උදේ 6 ට නැගිටලා උයන්න පටන් ගත්තා....

මට මං ගැන, එයා ගැන වගේම වර්ජිනියා සහ ලෙනාඩ් ගැන දුක හිතුණා....



Wednesday, April 10, 2013

කුරිරු ගිම්හානයකට පසුව උදා වූ තෙත් දවසක් ගෙවී අවසන්....


මිනිසුන් අවුරුදු උදාවන තෙක් දින ගනිමින් සිටිනවාදැයි නොදනිමි. මා නම් කුමක්දැයි හරිහැටි නොදැනෙන කිසියම් තාපයකින් දැවෙමින් සිටිමි. එය දැන් මට හුරුය. මම වඩ වඩාත් අනුගතවෙමින් සිටිමි. අභ්‍යන්තර තාපයේ තරමට ශරීරය හෝ දෑත (මම අදහස් කරන්නේ පෑන...හෝ) ක්‍රියාත්මක නොවන්නේ ඇයි? මේ වචන කිහිපය හෝ මා අතින් ගැටගැසෙන්නේ බොහෝ කාලයකට පසුය.

කෙසේ වෙතත් අද තිබෙන තෙත් කාලගුණය මහත් අස්වැසිල්ලකි. එමගින් සූර්ය තාපය වළක්වා ඇත. පසුගිය දිනවල සූර්ය තාපය ද අධික විය.

මම බලාපොරොත්තු සහිතව ජීවත්වීමට තැත් කරමි. මා වෙත ඉතිරිව ඇති සුන්දර බලාපොරොත්තු කිහිපයත්, කිසිවිටෙකත් මවෙතින් පළා නොගිය ධෛර්යයත්, ඔහුගේ ආදරයත් නිසා මම තවදුරටත් ජීවත් වෙමි.

කාර්යබහුල දින ගෙවෙන්නේත්, උදෑසන අවදිවන්නේත්, දවස නිමා කරන්නේත් ඒවා නිසාය.

බාහිර ලෝකයේ කිසිදු තත්වයක් එතරම් තදින් ඇතුලාන්තයට පහර නොදෙන්නේ ඒ නිසාය... ඇතැම්විට මා උවමනාවටත් වඩා ආත්මාර්ථකාමියෙකු වී ඇත. බොහෝ අය මගේ නිද්‍රාශීලී ගුණය නොඉවසනවා විය හැක.

මා කුමක් කරන්නද?