Tuesday, March 20, 2012

මොණර කුරුල්ලා......

මොණර කුරුල්ලා..
මොණර කුරුල්ලා....
හිතුමතේ ඉගිලෙන්නෙපා.

මත් මී සුවද...
මටත් දරාගෙන ඉන්න බැහැ
ෆ්‍රයිඩ් රයිස්- කොත්තු සුවද උහුලන්න බැහැ...
ඒත් ඉගිලෙන්නෙපා.

'සුදු මැණිකෙ' මතක් වුණත්
චොකලට් කේක් කෑල්ලක් ගන්න
බේකරියට පියඹන්නෙපා.

ඉගිල්ලිලා ඉගිල්ලිලා ඉගිල්ලිලා ගිහින්
ලැක්ටෝජන් කිරිපැකට්ටුවක වහපං.
රතු කැකුළු සෙරිලැක් පැකැට්ටුවක වහපං.

හා..
දැන් ඉතිං ඉගිලියන්.

ඔය තියෙන්නෙ තොග කඩේ..
අන්න අතන ‍ලැක්ටෝජන්.
මෙන්න මෙතන සෙරිලැක්.

Saturday, March 17, 2012

ආයෙමත් වතාවක්........

තොටිල්ලක්
රන් තොටිල්ලක්
මල් ඔන්චිල්ලාවක්.....

සූප්පුවක්
කිරි බෝතලයක්
නැපියක්.....

කිරි සුවදක්
කිරි සුවදක්
කිරි සුවදක්

ලේ සුවදක්.....

කරකැවිල්ලක්
වමනයක්
ඔක්කාරයක්.....

Wednesday, March 14, 2012

සුදු (කෙටි කරපු කතාවක්)

පාන්දර පහට මම අවදි වුණා, තාමත් ඔහු මට තුරුලු වී නිදන්නට සැරසෙමින් සිටිද්දී....ඔහු නින්දට එන විට පාන්දර හතරට විතර ඇති....තාමත් ඔහු වෙත නින්ද ඇවිත් නැහැ.

මගේ බද වටා වැටී ඇති ඔහුගේ ලියන අත මා'තින් සෙමෙන් සෙමෙන් එසැවේ....එසැවී සුදු කොට්ටය මත තැබේ...මම ඔහු නළලතෙහි හාදුවක් තබමි.ක්‍රමක්‍රමයෙන් සුදුපාටට හැරෙමින් යන ඔහුගේ කෙටි කෙස් වැදීමෙන් මගේ නාසය කිති කැවේ...කලු පාට පරයමින් නැගී නැගී එන සුදු පාට රැවුල් ගස් ඔහුගේ මුහුණෙහි දකිමි.

ඉතින් තවත් ඔහු වෙත තුරුලුව ඉන්නට මට ඉඩ ලැබෙන්නේ නැත.

මම කුස්සියට යමි. සුදු පාට පිඟන් ගඩොලු ඇතිරූ පැන්ට්‍රිය මත දී උදේ සහ දහවල සදහා ඔහුගේ, මගේ සහ දරුවන්ගේ ආහාර සකසමි.

නිවසේ ඉදිරි දොර හරිමි. සුදු පාට ඇදගත් අපගේ දරුවන් සුදු පාට ඇදගත් අනෙක් දරුවන් ද සමඟ එකට, එක පේළියට පාසල් යනු දකිමි.

නැවත ගෙට එමි. දහසක් සිහින අතරේ නින්දෙහි කිමිදී සිටින ඔහු දකිමි. ඇද මත සුදු පාට ඇතිරිල්ලේ ඔහුට තුරුලු වී වැතිරෙමි.....ඔහු තද නින්දේ- ඇහැරවන්නට, කිතිකවන්නට, වැළදගන්නට, නිදි බිදින්නට සිත් නොදේ.

ඔහු වැඩකරමින් සිටි පරිගණකය තවමත් අවදියෙනි. ඔහුගේ විද්‍යුත් තැපෑල ද වසා දමා නැත. රෑ තිස්සේ නිදි මරාගෙන ලියූ ලිපිය විද්‍යුත් තැපෑලට දැමූ සැණින් ඔහු නිදන්නට යන්න ඇත.....මම පරිගණකය නිවමි.

කොස්ස ගෙන සුදු පාට ටයිල් පොළොව අමදිමි. නාන කාමරයේ සුදු පාට බිම ද, සුදු පාට වැසිකිලි-කැසිකිලි-බේසම් ද සෝදා පිරිසිදු කරමි.

ඔහුගේ උදෑසන කෑම වේල සුදු පාට පිඟානකට බෙදමි...සුදු පාට ලොකු ජොග්ගුව තේ වලින් පුරවමි. ඉතින් ඔහු අවදි කරමි.

මුහුණ කට සෝදාගෙන, කෑම කා අවසන ඔහු දැන් තේ බොයි.

''මගේ සුදු ෂර්ට් එක අයන් කරන්න...'' ඔහු කියයි.

මම ඔහු‍ගේ සුදුපාට අත්දිග කමිසය ද, සුදු පාට යට බැනියම ද, සුදු පාට ලේන්සුව ද මැද දෙමි.

සුදු පාට කමිසය ඇද, එය කලු කලිසමට යට කර, සුදු පාට මේස් දමා, කලු සපත්තු ඇදගෙන, කලුපාට ෆයිල් කවරයෙහි සුදු පාට කොල ගොඩක් පුරවාගෙන එය සුදු පාට රෙදි බෑගයේ දමාගෙන දැන් ඔහු සැරසෙන්නේ.... යන්න..!

ඔහු මගේ නළල සිඹ පිටව යද්දී මම අසමි- '' අදවත් කලින් එනවද..? ''
උත්තරයක් නොදී ටිකවේලාවක් මා දෙස බලා සිට ඔහු පිටව යයි.

පහුගිය හැමදාම ඔහු ආවේ ප්‍රමාද වී....ආපු වෙලාවේ ඉදන් පරිගණකය වෙත වාඩි වී ලිව්වා...ලිව්වා...ලිව්වා...

රෑ වෙන කොට එයාගෙ යාලුවන් සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ගෙදරට කෝල් කරමින් ඔහු ආවද කිය කියා ඇහුවා...මම කිව්වා නෑ කියලා...පැය කිහිපයක් තිස්සේ ඔහුගේ ජංගම දුරකතනය ද නිදි වැදී...

ඊට පස්සේ මං ගියා පොලිසි.

''අපි දෙන්න හවස පත්තර කන්තෝරුවෙ ප්‍රෙස් ක්ලබ් එකේ දි පොඩියට සෙට් වුණා... ඊට පස්සෙ හවස හ‍ය හමාරට විතර බස් හෝල්ට් එකට යමින් ඉන්දැද්දි අපි දෙන්නවම ඉස්සුවා...උන් මූණු වල කලුපාට රෙදි ඔතාගෙන හිටියේ. පාරවල් කිහිපයක ගිහින් අන්තිමේදි මාව විතරක් මඟ දාල එයාව අරගෙන ගියා ප්‍රශ්න කරන්න කියල....''
එයාගෙ යාලුවෙක් පොලිසියට ඒ වගේ කට උත්තරයක් දීල තිබුණා.

ඒක සුදු වෑන් එකක් ලු.

එදා ඉදන් මාත් අදින්නෙ සුදු.


(බොරැල්ලේ දහවලකදී උග්‍ර පිපාසාවක් දැනී සන්ධ්‍යා එක්නැලිගොඩ සමඟ කඩේකට ගොඩ වැදී,  හීතල බීම වර්ගයක් බොමින් සිටියදී හිතේ ලියැවුණු කතාවක්)

Thursday, March 1, 2012

ජිනීවා යන්න කීයක් විතර සල්ලි ඕන ද?

සැරව ගලන තුවාලවලින් යුතු
දෙපයින්...

දෙපයින්
බයිසිකලයෙන්
බෝට්ටුවෙන්
බසයෙන් ආමි...

ආමි මහත්තුරුන්ගෙන්
පාර අසාගෙන...

අසාගෙන
කොල කෑල්ලක ලියාගෙන...

ලියාගෙන යන්ට ආ
අපේ දුක
හොයාගෙන හොයාගෙන ආවා
කොමිසම

කොමිසම
රැස්වුණා කිලිනොච්චියේ
දවස් දෙක තුනක් පොරකා
හමුදාවෙන් බැණුම් අසා
ආපහු ගියා

ගියා
කට උත්තරේ ගිලගෙන

ගිලගෙන
ගිලගෙන
යනකොට
ආයෙමත්

ආයෙමත්
රැස්වෙලා කමිටුවක්

කමිටුවක්
මූදු හතකින් එහා

මූදු හතකින් එහා
ජිනීවා යන පාර කියන්
මට

මට තියනවා දෙන්න
කට උත්තරයක්...

උත්තරයක් නැති
ප්‍රශ්න ගොඩක් තියනවා....

ඇගෙ නමත් කුවන්ණී- සතරවන සැහැල්ල

තවත්
කලුවර රාත්‍රියක් උදා වී....
ඈ පසුකරමින් සිටින්නී ඒ කලුවර රාත්‍රියේ
පළමු පැය කිහිපය යි....
කලුවර රාත්‍රීන් ගණනාවකට පසු ත්,
උදා නොවන සඳ පහන් රාත්‍රියකට පෙරුම්පුරන්නී....
අදත්....මේ අලුත් කලුවර රාත්‍රියේ ත් හිස් අහස ....
කඳුලින් පෙඟුනු නෙතින් පිරික්සන්නී......
සඳ නොදකින්නී.....
එකදු තරුවක් නොලද්දී...

සිත කය වේදනාවන්
සියතින් ම පිරිමදින්නී....

සිඟිති දියණිය
ලදලු තොල් මත
කඳුලු තවරා තෙමන්නී......

ජීවිතය, ආදරය, රැකවරණය, සැනසීම, විවාහය, රැකියාව, යාන වාහන, රත්තරන්,
ගෙවල් දොරවල් 
ඈ සියල්
අමු තිත්ත කුණුහරුපයක් යැයි කියන්නී....
ඇග නමත් කුවන්ණී....